RSS

Monday, September 26, 2011

වලස් ගොවිපල

ගිය සතියෙ පුස්තකාලයට  ගිය වෙලාවෙ සමුදුර පත්තරේ (මට මතක හැටියට) තිබුන විශේෂාංගයක් ගැනයි ලියන්න යන්නේ.
අපි සත්ව ගොවිපලවල් කියලා සමාන්‍යයෙන් සලකන්නේ කුකුල්, හරක්, ඌරු,එලු, එහෙමත් නැති නම් මසට හදන වෙනත් පක්ෂීන්(poultry species) සඳහා වෙන්වූ තැනක්.
ඒත් මේ කියන්න යන්නේ ඊටවඩා ගොඩාක් වෙන්ස් ගොවිපලක් ගැන. මේක 'වලස් ගොවිපලක්'.
තිරිසන් මිනිසුන් වෙනුවෙන්...
කූඩුවක ජීවිතය ගෙවන වලසෙක්.
 වලස් ගොවිපලවල් චීනය, වියට්නාමය සහ කොරියාව කියන රට වල පිහිටුවලා තියනවා. දැනට තියෙන සංඛ්‍යා ලේඛන වල හැටියට අඩුම තරමේ වලසුන් 12000ක් වත් ගොවිපල වල ඇති කරනවා.
අපි දන්න තරමින් වලහා කියන්නේ වනගත,ටිකක් දරුණු සතෙක්.ඒත් මොකටද මේ සතාව ඇති කරන්නෙ? මසටද?
නෑ. මෙයාගේ පිත්තාශයෙන් ස්‍රාවයවන පිත ලබා ගන්න.
මේ පිත, නිධන්ගත රෝග නිවාරණයටත්, විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදාගන්නවාලු. නවීන විද්‍යාවේ පිහිටෙන් මේ  වෙනුවට යොදාගන්න පුලුවන් වෙනත් වැඩිදියුණු කරන ලද ඖෂධ නිපදවලා තිබුණත්, ලෝකය පුරා විහිදිලා ඉන්න අකාරුණික මිනිස්සුන්ගේ ආශාවන් සන්සිඳුවන්න තාමත් මේ සතාගෙන් පිත් ස්‍රාවය කරගන්නවා.
 ඇමරිකානු සහ ආසියාතික කලු වලසුන්,sloth සහ spectacled වලසුන් මෙන්ම හිම වලසුන් ද මේ සඳහා යොදා ගන්නවා.
මේකෙ අකාරුණිකම පැත්ත මේකයි. මේ සඳහා කූඩු කර සිටින වලසෙකුගෙන් දවසකට කීප පාරක්ම පිත් ස්‍රාවය එකතු කරගනු ලබනවා. ඒක පහසු කරගන්න සතාගේ උදරය බාහිරයට නිරාවරණය වෙන විදියට නාලයක් හෝ විවෘත කැපුමක් යොදලා තියනවා.
ඉතින් අපි දන්නව ඒ විදියට බාහිරයට ශරීර අභ්‍යන්තරය නිරාවරණය වෙනවා කියන්නෙ ආසදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පිත් ස්‍රාවයට යොදාගන්නා වලසුන් සෑම විටකම වගේ උදරාබාධ වලින් පීඩා විඳිනවාලු.
පිත් ස්‍රාවයට යොදාගත් වලසුන් සහ වලස් ගොවිපලක්


ඒ පීඩණය කොයි තරම්ද කියනවා නම් උගේ ඊලඟ උත්සාහය තමයි මිය යන තුරු ම උදරයට පහර දීම. මේක නවත්ත ගන්න ගොවිපල පාලකයන් කරන්නේ අතපය දික් කරන්න බැරි ඉතාමත් කුඩා කූඩුවක සිර කිරීමයි.
මේ කුරිරු වද බන්ධන ගැන අනාවරණය උනේ එක්තරා වලසුන් ඇති කරනා සමාගමක් කොටස් වෙලඳපලට පිවිසෙන්න දරපු උත්සාහයකදී කියලා ඒ ලිපියේ තිබුනා. ඊට පස්සෙ මමත් මේ ගැන විස්තර ටිකක් හොයලා තමයි මේ ලිපිය දාන්න හිතුවේ.


ඒකේ අන්තිමට පුංචි කතාවකුත් කියලා තිබුණා. මේ විදියට වලසුන් ඇති කරන ගොවිපලක වලස් අම්මා කෙනෙක්ට පුංචි පැටියෙක් ලැබිලා තියෙනවා. ඒත් අම්මටයි පැටියටයි ලං වෙන්න තරම් ඉඩක් නැහැනේ. කොහොම හරි පැටියව දැකපු අම්මා කූඩුවේදොර කඩාගෙන පැටියා ලඟට ගියාලු. පැටියව පපුවට තුරුලු කරගත්ත අම්මා එක ක්ෂණයකින් පැටියාගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මලු.

Tuesday, September 20, 2011

අලුත් ආරක්ෂාව

මටද බ්ලොගයක් තිබේ! එහි ලියන්නටද දේවල් තිබේ. ඒ නිසා කෙසේ හෝ ලිවිය යුතුය.. ඔන්න ඔය දේවල් මතක් උනා මට මේ දවස් ටිකේම.
 අවසාන පර්යේෂණයත් ඉවර කරලා විශ්ව විද්‍යාලයට ආවෙ පෙරේදා. වෙනසක් නෑ බදුල්ල ඒ වගේමයි. වැඩිපුරත් එක්ක සීතලයි. ඒ අතරෙ ආරංචියක් ලැබුණා 'විශ්ව විද්‍යාල ආරක්ෂාව වෙනම පෞද්ගලික ආයතනයකට පවරන බව'. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ නිසා අසරණ වෙන පිරිසකුත් ඉන්නව ඇත්තටම.
දැනට විශ්ව විද්‍යාල වල ආරෂක කටයුත් කෙරෙන්නේ පෞද්ගලික සමාගම් කීපයක් මගින්. ආරක්ෂාව කිව්වාම වැඩි හරියක් කරන්න තියන්නේ තියෙන බඩු බාහිරාදිය හරියට තියෙනවාද, අවසලත් අය පමණක් අදාල තැන් වලට ඇතුලු වෙනවද කියලා බලන එකයි. 
ඊට වඩා දේවල් කලත්, අපිට නම් ගොඩක් වෙලාවට පේන්නෙ ඒව තමයි. ඊට අමතරව අපේ 'සමහර' ගැහැනු අයට කේලම් කීමේ රාජකාරියත් පැවරිලා තිබුණා මීට කාලයකට කලින්.
කොහොම වෙතත්, සියලු දේවල් එකම තැනකට පවරාගෙන, මේ කරන්න යන්නෙ මොකක්ද කියලා දැන්ම තේරෙන එකක් නෑ. කැම්පස් එකකට ඇත්තටම හමුදාවක් ඕනෙ වෙන්නෙ නෑ. එතනට එන්නෙ යමක් හිතලා කරන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් මිසක් ත්‍රස්තවාදියො ටිකක් නෙවෙයි.
අනාගතයේදි මොනවා වෙයිද කියලා හරියටම අනාවැකි කියන්න බැරි උනත්, ලොකු ගැටුම් නිර්මාණය වීමේ වැඩි ඉඩ කඩක් තියනවා. මොකද අපිව කවුරුවත් බලෙන් පාලනය කරන්න එනවට අපි කිසි කෙනෙක් කැමති නැහැ.මේ වෙනකල් නම් ආරක්ෂක අංශය නිසා විශ්වවිද්‍යාල තුල ගැටුම් නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා අනාගතයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන මිනිහා නටපන් පුතා කියනකොට නටන, වැඳපන් පුතා කියනකොට වඳින කෙනෙක් වෙයිද කියලත් සැකයි මේ යන විදියට. මොකද බහුතරයක් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා. ලොකු පුටුවලට පන්දම් කාරයෝ ගිහිල්ලා. 
මේ කාරණාව නිසා කලින් ආරක්ෂක සේවයේ හිටපු අයට එතනින් ඉවත් වෙන්න සිතු වෙනවා. එතකොට ඒ අයගේ පවුල් වල අයට මොකද වෙන්නෙ. මම දන්න පවුල් කීපයක්ම මේ රැකියාවෙන්ම යැපෙනවා. දැනගන්න ලැබුණු විදියට ඒ අයට වෙනත් තැනක රැකියා මේ වෙනකොටත් නෑ.

 මේක කොයි විදියට සිදු වේවිද කියලා දැන්ම අනුමාන කරන්න බැහැ. නමුත් ලබන මාසෙ පලමු වෙනිදා ඉඳලා අලුත් අය එනවා. 


බලමු අලුත් වෙනසක් වේවිද කියලා. මොකද අපි මේ ආශ්චර්යය කරා යන ගමනක් නෙ.