RSS

Thursday, February 24, 2011

ස්තුතියි හැමෝටම..

මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි. 
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.  


හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි. 


ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්‍රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං. 
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.

Tuesday, February 22, 2011

පිටිකිරි වල තිත්ත පැත්ත.



මේ පොස්ට් එක බලන ඔබ  උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.


ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්. 
ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි වන ඒවා. තවත් කොටසක් ගොවිපලවල එළදෙනුන්ගෙන් දොවාගත් ඒවා. කොහොම වෙතත් මේ කිරි විසිර වියලනයක් තුල සෙල්සියස් අංශක 240ට රත් කරලා තමයි පිටි බවට පත් කරන්නෙ. එතකොට කිරි වාෂ්පයෙන් ජලය ඉවත්වෙලා පිටි ටික ඉතිරි වෙනවා. අපි හැමෝම දන්න විදියට මේ වෙන කොට ඒකෙ තිබුණු  පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මේ වෙනකොට නැතිවෙලා ඉවරයි.


ඒට පස්සෙ මේකට එක එක දේවල් එකතු කරනවා. විවිධ ප්‍රෝටීන වර්ග,විටමින ආදී වශයෙන්. හැබැයි මේ එකතු කරන දේවලුත් බොහෝ විට කෘතිමව සංශ්ලේශනය කරාපුවා.
සමහර විට  මේක කියවනකොට හිතේවි 'ඉතීන් අපි කිරි පිටි බීල වැඩක් නැහැනේ' කියල. ඇත්ත.. ගොඩක් වෙලාවට අපි මේක කරන්නෙ පුරුද්දට, නැත්නම් උත්තේජක පානයක් විදියට.


අපේ මේ පුරුද්ද හන්දා පිට රටවල් වලට අපේ රටින් ඇදිල යන විදේශ විනිමය ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 20 කට වැඩියි. 2007 දි පිටි කිරි මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරලා තියනවා. හිතලා බලන්න අපි රට සංවර්ධනයට කෑ ගගහ  හිටියට, අපි තාමත් රටින් කිරි ගෙන්නන්න සතියකට විතර සැරයක් රුපියල් දෙතුන්සීයක් පිටරටවලට පටවනවා.


රටක් හදන්න ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික් කරලාවැඩක් හැහැ. අපි හැමෝටම ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවා.
අඩුම වශයෙන් අපේ රටේ හදන දේවල් වත් මිල දීල අරගෙන..
අපේම රටේ හදන කිරිපිටි වර්ගයක් විදියට දැනට ගන්න තියන්නෙ 'හයිලන්ඩ්' විතරයි. ඒක දිය වෙන ගතිය ටිකක් අඩුයි ඒකට හේතුව දියවෙන්න දාන රසායනික ද්‍රව්‍ය නොදාන හන්දා. අනෙක් හැම එකකටම දාන ජාති හොයලා බැලුවොත් අපිට බොන්න හිතෙන්නෙ නෑ.


අනිත් කාරණාව තමයි ගොඩක් කොම්පැණි අපිට ආදරේට කිරි පොවනවා නෙවෙයි, ඒ අය නිශ්පාදන වියදමෙන් 60%ක් විතර වැය කරන්නෙ ප්‍රචාරණ කටයුතුවලට, තින් අපෙ 'නුවණක්කාර අය', 'අම්මාගේ පෝෂණය දෙන්න කැමති අය', 'දෙනුන්ගෙන් දොවාගත් නැවුම් එළකිරි' දෙන්න කැමති අය අත දිග ඇරලා දෙන්නෙ මේ බව දැන්ගෙන නෙවෙයි වෙන්න ඇති.



පුලුවන් නම් නැවුම් එළකිරි බොන්න, ඒක ගොඩාක් වටිනවා. නැති නම් කැඳ වර්ගයක් හරි, වෙනත් ඖෂදධීය පානයක් හරි බොන්න තියනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඔය වැඩකට නැති පාන වර්ග තවත් ලෙඩත් එක්ක අපේ ඇඟ ඇතුලට දාගන්නවට වඩා. දිය වැඩියා රෝග තත්ව වලත් ප්‍රධාන හේතුවක් තමයි අධික විදියට පිටි කිරි භාවිතය.

මට මේක ලියන්න හිතුනේ මගේම ගජයෙක් අසනීප හන්දා කිරි පිටි එකක් ගෙනැවිත් බොන හන්දයි. 
ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා මේ පුංචි කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් හිතලා බලන හැටියට.




ප.ලි. පාස්චරිත කිරි තමයි වෙළඳපලේ ගන්න තියන වැඩිම පෝෂණයෙන් යුත් කිරි වෙන්නේ.

Wednesday, February 2, 2011

පිළිකාව වසංගතයක් වේවිද? නැත්නම් වලක්වා ගන්න පුලුවන්ද?...

 දැන් ඉස්සරට වඩා පුදුම විදියට පිළිකා වැළඳීම නිසා මරණ වෙන ප්‍රමාණය වැඩියි. ඒක මම විතරක් නෙවෙයි. මේක බලන ඕනෙම කෙනෙකුට ඒවගේ අද්දැකීම් ඕනෑ තරම් ඇති. මට හිතෙන විදියට තව කාලයක් යනකොට වැඩිපුරම මරණ වලට හේතුවක් වේවි මේ රෝගය. මම දන්න විදියට මේකට අපේ ආහාර පුරුදු ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම ක්ෂණික ආහාර! 


මම අද ගියා බදුල්ල පිළිකා රෝහලේ ඉන්න, අපේ  අයිය කෙනෙකුගේ අම්ම්මාව බලන්න. අම්මා.. සංසාරේ දුක මතක් වෙනවා ඒ වගේ තැනකට ගියාම. කාට උනත් ඒවගේ දෙයක් උනාම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පවුලේ කෙනෙකුගෙනුත් හරි හමන් උපකාරයක් නැති උනොත් කොයි තරම් අසරණ වෙනවද? ඒ වෙලාවට පිහිටට ඉන්නෙ අපි පුලුවන් විදියට එකතු කරගත්තු මිනිස්සු ටිකක් විතරයි. 


අපෙ කැම්පස් එකේ අක්ක කෙනෙකුත්  නැති උනා මීට මාස 2කට කලින්. ඒත් පිළිකාවක් නිසා. අනේ මන්දා..මේක මට උත්තර නැති ප්‍රශ්නයක් හන්දයි මෙහෙම ලිව්වෙත්.  පුලුවන් විදියට නරක ආහාර  පුරුදු වලින් ඈත් වෙන්න. දැනුවත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකට කරන්න පුලුවන් මොනවද කියලා  කමෙන්ට් එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.