RSS

Monday, September 26, 2011

වලස් ගොවිපල

ගිය සතියෙ පුස්තකාලයට  ගිය වෙලාවෙ සමුදුර පත්තරේ (මට මතක හැටියට) තිබුන විශේෂාංගයක් ගැනයි ලියන්න යන්නේ.
අපි සත්ව ගොවිපලවල් කියලා සමාන්‍යයෙන් සලකන්නේ කුකුල්, හරක්, ඌරු,එලු, එහෙමත් නැති නම් මසට හදන වෙනත් පක්ෂීන්(poultry species) සඳහා වෙන්වූ තැනක්.
ඒත් මේ කියන්න යන්නේ ඊටවඩා ගොඩාක් වෙන්ස් ගොවිපලක් ගැන. මේක 'වලස් ගොවිපලක්'.
තිරිසන් මිනිසුන් වෙනුවෙන්...
කූඩුවක ජීවිතය ගෙවන වලසෙක්.
 වලස් ගොවිපලවල් චීනය, වියට්නාමය සහ කොරියාව කියන රට වල පිහිටුවලා තියනවා. දැනට තියෙන සංඛ්‍යා ලේඛන වල හැටියට අඩුම තරමේ වලසුන් 12000ක් වත් ගොවිපල වල ඇති කරනවා.
අපි දන්න තරමින් වලහා කියන්නේ වනගත,ටිකක් දරුණු සතෙක්.ඒත් මොකටද මේ සතාව ඇති කරන්නෙ? මසටද?
නෑ. මෙයාගේ පිත්තාශයෙන් ස්‍රාවයවන පිත ලබා ගන්න.
මේ පිත, නිධන්ගත රෝග නිවාරණයටත්, විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදාගන්නවාලු. නවීන විද්‍යාවේ පිහිටෙන් මේ  වෙනුවට යොදාගන්න පුලුවන් වෙනත් වැඩිදියුණු කරන ලද ඖෂධ නිපදවලා තිබුණත්, ලෝකය පුරා විහිදිලා ඉන්න අකාරුණික මිනිස්සුන්ගේ ආශාවන් සන්සිඳුවන්න තාමත් මේ සතාගෙන් පිත් ස්‍රාවය කරගන්නවා.
 ඇමරිකානු සහ ආසියාතික කලු වලසුන්,sloth සහ spectacled වලසුන් මෙන්ම හිම වලසුන් ද මේ සඳහා යොදා ගන්නවා.
මේකෙ අකාරුණිකම පැත්ත මේකයි. මේ සඳහා කූඩු කර සිටින වලසෙකුගෙන් දවසකට කීප පාරක්ම පිත් ස්‍රාවය එකතු කරගනු ලබනවා. ඒක පහසු කරගන්න සතාගේ උදරය බාහිරයට නිරාවරණය වෙන විදියට නාලයක් හෝ විවෘත කැපුමක් යොදලා තියනවා.
ඉතින් අපි දන්නව ඒ විදියට බාහිරයට ශරීර අභ්‍යන්තරය නිරාවරණය වෙනවා කියන්නෙ ආසදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පිත් ස්‍රාවයට යොදාගන්නා වලසුන් සෑම විටකම වගේ උදරාබාධ වලින් පීඩා විඳිනවාලු.
පිත් ස්‍රාවයට යොදාගත් වලසුන් සහ වලස් ගොවිපලක්


ඒ පීඩණය කොයි තරම්ද කියනවා නම් උගේ ඊලඟ උත්සාහය තමයි මිය යන තුරු ම උදරයට පහර දීම. මේක නවත්ත ගන්න ගොවිපල පාලකයන් කරන්නේ අතපය දික් කරන්න බැරි ඉතාමත් කුඩා කූඩුවක සිර කිරීමයි.
මේ කුරිරු වද බන්ධන ගැන අනාවරණය උනේ එක්තරා වලසුන් ඇති කරනා සමාගමක් කොටස් වෙලඳපලට පිවිසෙන්න දරපු උත්සාහයකදී කියලා ඒ ලිපියේ තිබුනා. ඊට පස්සෙ මමත් මේ ගැන විස්තර ටිකක් හොයලා තමයි මේ ලිපිය දාන්න හිතුවේ.


ඒකේ අන්තිමට පුංචි කතාවකුත් කියලා තිබුණා. මේ විදියට වලසුන් ඇති කරන ගොවිපලක වලස් අම්මා කෙනෙක්ට පුංචි පැටියෙක් ලැබිලා තියෙනවා. ඒත් අම්මටයි පැටියටයි ලං වෙන්න තරම් ඉඩක් නැහැනේ. කොහොම හරි පැටියව දැකපු අම්මා කූඩුවේදොර කඩාගෙන පැටියා ලඟට ගියාලු. පැටියව පපුවට තුරුලු කරගත්ත අම්මා එක ක්ෂණයකින් පැටියාගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මලු.

Tuesday, September 20, 2011

අලුත් ආරක්ෂාව

මටද බ්ලොගයක් තිබේ! එහි ලියන්නටද දේවල් තිබේ. ඒ නිසා කෙසේ හෝ ලිවිය යුතුය.. ඔන්න ඔය දේවල් මතක් උනා මට මේ දවස් ටිකේම.
 අවසාන පර්යේෂණයත් ඉවර කරලා විශ්ව විද්‍යාලයට ආවෙ පෙරේදා. වෙනසක් නෑ බදුල්ල ඒ වගේමයි. වැඩිපුරත් එක්ක සීතලයි. ඒ අතරෙ ආරංචියක් ලැබුණා 'විශ්ව විද්‍යාල ආරක්ෂාව වෙනම පෞද්ගලික ආයතනයකට පවරන බව'. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ නිසා අසරණ වෙන පිරිසකුත් ඉන්නව ඇත්තටම.
දැනට විශ්ව විද්‍යාල වල ආරෂක කටයුත් කෙරෙන්නේ පෞද්ගලික සමාගම් කීපයක් මගින්. ආරක්ෂාව කිව්වාම වැඩි හරියක් කරන්න තියන්නේ තියෙන බඩු බාහිරාදිය හරියට තියෙනවාද, අවසලත් අය පමණක් අදාල තැන් වලට ඇතුලු වෙනවද කියලා බලන එකයි. 
ඊට වඩා දේවල් කලත්, අපිට නම් ගොඩක් වෙලාවට පේන්නෙ ඒව තමයි. ඊට අමතරව අපේ 'සමහර' ගැහැනු අයට කේලම් කීමේ රාජකාරියත් පැවරිලා තිබුණා මීට කාලයකට කලින්.
කොහොම වෙතත්, සියලු දේවල් එකම තැනකට පවරාගෙන, මේ කරන්න යන්නෙ මොකක්ද කියලා දැන්ම තේරෙන එකක් නෑ. කැම්පස් එකකට ඇත්තටම හමුදාවක් ඕනෙ වෙන්නෙ නෑ. එතනට එන්නෙ යමක් හිතලා කරන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් මිසක් ත්‍රස්තවාදියො ටිකක් නෙවෙයි.
අනාගතයේදි මොනවා වෙයිද කියලා හරියටම අනාවැකි කියන්න බැරි උනත්, ලොකු ගැටුම් නිර්මාණය වීමේ වැඩි ඉඩ කඩක් තියනවා. මොකද අපිව කවුරුවත් බලෙන් පාලනය කරන්න එනවට අපි කිසි කෙනෙක් කැමති නැහැ.මේ වෙනකල් නම් ආරක්ෂක අංශය නිසා විශ්වවිද්‍යාල තුල ගැටුම් නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා අනාගතයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන මිනිහා නටපන් පුතා කියනකොට නටන, වැඳපන් පුතා කියනකොට වඳින කෙනෙක් වෙයිද කියලත් සැකයි මේ යන විදියට. මොකද බහුතරයක් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා. ලොකු පුටුවලට පන්දම් කාරයෝ ගිහිල්ලා. 
මේ කාරණාව නිසා කලින් ආරක්ෂක සේවයේ හිටපු අයට එතනින් ඉවත් වෙන්න සිතු වෙනවා. එතකොට ඒ අයගේ පවුල් වල අයට මොකද වෙන්නෙ. මම දන්න පවුල් කීපයක්ම මේ රැකියාවෙන්ම යැපෙනවා. දැනගන්න ලැබුණු විදියට ඒ අයට වෙනත් තැනක රැකියා මේ වෙනකොටත් නෑ.

 මේක කොයි විදියට සිදු වේවිද කියලා දැන්ම අනුමාන කරන්න බැහැ. නමුත් ලබන මාසෙ පලමු වෙනිදා ඉඳලා අලුත් අය එනවා. 


බලමු අලුත් වෙනසක් වේවිද කියලා. මොකද අපි මේ ආශ්චර්යය කරා යන ගමනක් නෙ.

                                        

Wednesday, June 8, 2011

සෙල්වකුමාර්...

කාලෙකට පස්සෙ ලියන අලුත් පෝස්ට් එක. ලියන්න දේවල් කොයි තරම් හිතට ආවත් කාලයත් එක්ක ප්‍රශ්න හන්දා ලියන එක පරක්කු උනා. ඒකටම හරියන නිදි මත. 
හරි, දැන් මතෘකාවට එමු. 

ප්‍රධාන චරිතය මම දැනට අවසාන වසරෙ පර්යේෂණය කරන ආයතනයෙ සේවය කරන නිලධාරියෙක්. නම සෙල්වකුමාර්. අපි මුලින් නම් කිව්වෙ K.M. කියලයි.  ආ.. කියන්න බැරි උනානෙ මමයි මගේ යාලුවයි මෙතනට ආපු දවස් කීපයේම කලේ කට්ටිය අඳුනා ගන්න එක.ඒ හන්දා වැඩ කරන හැමෝටම අපේ බාසවෙන් කාඩ් ටිකක් දැම්මා.දානකොට එච්චරම කැත කාඩ් දැම්මෙත් නෑ ඉතින්, හොඳ නෑ නෙ. සමහර විට සත්තුන්ගෙ විද්‍යාත්මක නමක කොටසක් හරි වනගත පූර්වජයෙකුගෙ නමක් වගේ එකක් දැම්මා එච්චරයි.
එක එක්කෙනාගේ හැසිරීම, බාහිර ගති ලක්ෂණ වගේ දේවල් බලලා තමයි ඒ අයව වෙන් කරල අඳුනා ගත්තෙ. ඔහොම යනකොට අපේ මේ කතා නායකයාට නම දාන එක බොහෝම ලේසි උනා. එයාගෙ කන් දෙකම පිරෙන්න රෝම. අපිත් ඉතින් කෙලින්ම 'කනේ මයිලා' කියලා කියන්න බැරි හන්දාK.M කිව්වා. 

සෙල්වකුමාර් කියන්නේ අවුරුදු 28ක් රාජ්‍ය සේවයේ හිටපු සේවකයෙක්. කෘෂිකර්ම පර්යේෂකයෙක්,ඩිප්ලොමාධාරියෙක්. ලංකාවෙ කෘෂිකර්මාන්තය ගැන තියෙන දැනුම පුදුමයි. උඩරට, පහතරට එළවලු ගැන එහෙම නොදන්නා දෙයක් නෑ. ඊට අමතරව මෙයා ගොඩාක් වැඩ කරලා තියන්නෙ බීජ වල පැලවීම, සුප්තතාව සෙවීම වගේ දේවල් එක්ක.
කොයි තරම් දැනුමක් තිබුනත් පොඩ්ඩක් වත් ආඩම්බර නැතිකම හන්දයි මම මේක ලියන්න තෝරාගත්තෙත්. ගොඩක් මිනිස්සු ලඟ තියෙන ලොකුකම මේ මනුස්සයාගෙ අහලකවත් නෑ. සමහර විට මටත් වැඩ වලට උදවු කරනවා. අහන ඕනෙම දෙයක් තේරෙන විදියට කියලා දෙනවා. ලංකාවෙ කෘෂිකර්මාන්තයට වෙලා තියන දේ පියවරෙන් පියවරට මේ මනුස්සයා විස්තර කරනවා. තමන්ගෙ අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න හරිම කැමති, විනෝදයට බර මනුස්සයෙක්.
අපිට හම්බවෙන බහුතරයක් කුහක මිනිස්සු අතරේ මට හමබ වුණු බොහොම හොඳ මනුස්සයෙක්.


දැන් වගේ නෙවෙයිලු, ඒකාලෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දියාරු වෙච්ච ආයතනයක් නෙවෙයිලු. ඒකනිසාම මෙයාටත් නෙදර්ලන්තය, ඉන්දියාව, ඊජිප්තුව වගේ රටවල තිබුණු වැඩසටහන් වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.
ලංකාවෙ ඕනෙම පලාතක දේශගුන රටාව, ඒකට අනුව වගාකරන විදිය, වගා කරන කාලය හරි අපූරුවට විස්තර කරනවා. හැබැයි පොඩි අවුලකට තියන්නෙ වැඩක් නැති උන වෙලාවට පොඩි නින්දක් දාන එක තමයි. ඒත් කාටවත් ඒක හොයන්න බෑ, ලඟටම ඇවිත් ඇස් දෙක දිහා බැලුවොත් විතරයි පේන්නෙ.
ඇත්තටම මේවගේ මිනිස්සුන්ගෙන් ගන්න අද්දැකීම් එක්ක තව ගොඩක් දේවල් කරන්න අපේ රටේ වගකිවයුතු ආයතන උනන්දු වෙන්න ඕනෙ. ඒවානම් ඉතින් කොහොම කෙරෙයිද දන්නෙ නෑ. කොහොම නමුත් සෙල්වකුමාර් (K.M) මහත්තයාට දීර්ගායූ වේවා! කියලා පෝස්ට් එක නවත්තනවා. ගිහින් එන්නම්.

හැබැයි, මම මේක ලියනවා කියල එයා දන්නෙ නෑ. බ්ලොග් කියන්නෙ මොකක්ද කියලවත් ඒ මනුස්සයා දන්නෙ නෑ.

Saturday, May 21, 2011

මනුස්සකම හඳුනන මිනිසුනි ආචාර වේවා!..

මමත් මේ ලියන්න යන්නෙ දිලුම්ට නිවන් සුව ලැබේවා කියල විතරක් නෙවෙයි. තවත් එක නොහැඳුරූ, නොදුටු (ඇතැම්විට) සහෘදයෙකු වෙනුවෙන් එකතු උනු හැමෝටම ස්තුතියි කියලයි. ඉලන්දාරියා අපි කවුරුවත් නොහිතපු වෙලාවක, එයාවත් නොහිතපු වෙලාවක නොකියාම යන්න ගියා. 
ඒකෙන් අපි හැමෝටම අමතක නොවෙන දුකක් ඇති උනා විතරක් නෙවෙයි අපි කතා කරන්නත් පටන් ගත්තා.
ඒත් දිලුම් ගැන මුලින්ම දැන ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙන කම් කොයි තරම් කැප කිරීම් කරපු මිනිස්සු හිටියද? අපි හැමෝම ඒ මිනිස්සුන්ට ආචාර කරන්න ඕනා මනුශ්‍යත්වයේ නාමයෙන්. තමන්ගෙ වෙලාව, මුදල්, ආදිය උනත් මේ විදියට දෙන්න හැමෝටම බැහැ. තමන් ගැන මහා ලොකුවට හිතාගෙන ඉන්න පුහු මිනිසුන්ට, පොරවල් වලට කවදාවත් ලබන්නට බැරි නිරාමිශ සතුටක් ඒ වෙනුවෙන් තමන්ගෙ දේවල් කැප කරපු මිනිස්සුන්ට තියෙනවා. 
මෙහෙම ලිව්වත් මම අඩුම ගනනේ මළ ගෙදරටවත් සහභාගී උන කෙනෙක් නෙවෙයි. වැඩිපුර වැඩ යොදාගෙන ඒකටවත් නිදහසක් නැති උන එකෙක්. ඒ නිසා මම ඔබට ලැජ්ජාවෙන් යුතුව ආචාර කරමි පරාර්ථකාමී මිනිසුනි!



ඉවර කරන්න හදනකොට මට මතක් වෙනවා නන්දා මලනී මහත්මියගෙ ගීතයක්.
 "නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්.. 
 හඬ හැති මුවගට කටහඬ විය හැකි නම්..
 අහිමිමු දෙපයට පායුග විය හැකි නම්.. 
 පොඩි මිතුරෝ. මම නුඹ සිප ගන්නම්.."

Sunday, March 27, 2011

විකිරණ වලට හානි කරන්න බැරි උන ජපන් ජනතාවගේ එකමුතුකම.

ජපානෙට සුනාමියක් අවිල්ලා සෑහෙන ගානක් මැරිලා, විකිරණ කාන්දු වෙලා.. තව ගොඩාක් දේවල් වෙලා ඉවරයි. 


මේක අතුරු කතාවක්.. හිතලා බලන්න දෙයක්.
මේ මොනවා උනත් බලන්න තව ටික කාලෙකින් ජපානෙ හිටියටත් වඩා හොඳට අලුමතින් නැගිටිනවා. මොන විපතක් උනත් කලින් හිටියට වඩා ශක්තිමත් වෙන්න ඒ රටේ මිනිස්සු හැඩ ගැහිලා තියනවා.
ෆුකුශිමා බලාගාරයට හානි උනාට පස්සෙ ඒක පිලි සකර කරන්න එතනම වැඩ කරපු මිනිස්සු දිවි පරදුවට තියලා වැඩ කලා. ඒකට ජපානයේ විතරක් නෙවෙයි, මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ ශීර්ෂ ප්‍රණාමය
 ඒ 'උතුම් මිනිසුන්' ට හිමි වෙන්න ඕන.
තවත් සුවහසක් මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ගැන වත් නොහිතා වැඩ කරන්න පුලුවන් ශ්‍රේෂ්ඨ මනුස්සයෙකුටම විතරයි. ඒට පස්සෙ රට ගොඩනගන එක හැමෝගෙම වැඩක් බව දැනගෙන හැමෝම එකා වගේ වැඩ කරනවා.

අපේ රටත් සුනාමි ආවා. අපි පුලුවන් විදියට හැමෝටම උදව් කර ගත්තා. ඊට පස්සෙ, දැන් ඉතින් ගොඩනගමු කියලා සින්දු කිව්වා, ආධාර ලැබුණා. ඒවා බහිරවයො ගිලපු වෙලාවල් තිබුණා. 
ජාතිවදී යුද්දයක් තිබුණා. ඒක ඉවර කරන්න අපේ කොල්ලො තමන්ගෙ ජීවිත පූජා කලා. හැමෝම තමන්ට පුලුවන් විදියට 'අපි ඔබ සමගයි' කියලා බැනර් එකක් වත් එල්ලුවා. ඊට පස්සෙ, යුද්ධ ජයග්‍රහණය එක එක්කෙනාගෙ නමට ලියාගන්න වලි කෑවා. දේශප්‍රේමීන් එක රැයකින් ද්‍රෝහීන් උනා. දේශද්‍රෝහීන් එක රැයකින් දේශප්‍රේමීන් උනා. රජගෙදරටම ආවා.  
 ජපන් ජාතිකයයි සිංහලයයි වෙනස් වෙන්නෙ මෙතෙන්දියි. විපතකට පස්සෙ ජපානෙ හැම මිනිහෙක්ම තේරුම් ගත්තා තමන්ට රට වෙනුවෙන් කරන්න දෙයක් තියනවා කියලා. තමන්ගෙ රට ගොඩ නගන්න තමන්ටම පුලුවන් කියලා ඔවුන් තේරුම් ගත්තා. ජපානෙ මිනිස්සු තමන්ට ඕනෙ කරන දේවල් තමන්ම හදා ගත්තා. ඒත් එක්කම රටේ හැමෝම දේශීය දේවල් මිලට ගත්තා. 
'ටොයොටා' වගේ විශාල සමාගම් උනත බිහි උනේ එහෙමයි. අපි හැමෝම ජපන් බෝනික්කගෙ කතාව දන්නවනෙ.අඩු පාඩු තිබුනත් ඒක ජපානෙ හදපු නිසා මිනිස්සු ඒක ගත්තා. අඩු පාඩු හැදුනා. ලෝකෙන්ම හොඳට බෝනික්කො හදන්නත් පුලුවන් උනා.
දේශීයතවය ගැන පුරාජේරු ගහන ජනතා නියෝජිතයන් ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ. බලන්න ජපන් ජාතිකයයි අපියි අතර තියන වෙනස! අපේ අය බඩුවක් මිලට ගන්න ගියම ඒක 'ඉම්පෝටඩ්' නම් වැඩියෙනුත් එක්ක ගෙවලා ගන්නව. 'ලෝකල්' එපා. තියන පොෂ් කමට රට කෑම කන්නෙ. ඉම්පෝටඩ් ඇඳුම් අඳින්නෙ. අනෙ මුන්ගෙ රෙද්දෙ පොෂ්. 
ඇයි පලතුරක් නම් ඉතින් ඇපල් හරි දොඩම් හරි තමයි!
මතක තියාගන්න. අනාගතේදි අපේ දරුවො, මුණුබුරෝ අපිට බනිනවා. ඇයි අපිවත් උඹලා ණය කාරයො කලේ කියලා. අපේ රටේ ලොක්කො වෙන රටවල් වලින් හිඟා කාගෙන ඇවිත් අපිට 'සහන' දෙනවා. අපිම නොදන්න විදියට ඒවා උන් ආයෙ ගන්නවා. ලොකු සංවර්ධන වැඩ වලට 'ණය' ගන්නවා. ණය ගත්ත රටෙන්ම කොම්පැණියක් ඇවිත් වැඩ කරනවා. අපි උන්ගෙ සල්ලි උන්ටම දීලා තවත් හිඟන්නො වෙනවා.


මේ දේවල් වලට අපිට එක පාරටම මොනවත් කරන්න බැරි  උනත් කරන්න පුලුවන් දේවල් තියනවා. අපේ දේවල් විතරක් මිලට ගත්තොත් හදන එකාට ඒක ලොකු හයියක්. ඒකෙන් තවත් කට්ටියට රැකියා ලැබෙනවා පිටට යන මුදල් අඩු වෙනවා. නැති නම් වෙන්නෙ ආනයනය කරන්න දීපු 'සහන' ටික පියවන්න තවත වැඩිපුර බදු ගෙවන්න වෙන එකයි.(යකෝ! මේ සහන කියලා කපා හරින මුදල් අය-වැය පරතරය නැති වෙන්න ආයෙ බදු විදියට ගෙවන්න ඕනෙ අපිම තමයි)


ස්තුතියි මේ ටික කියෙව්වට! හිතෙන්ම අහලා බලන්න 'ශ්‍රී ලාංකිකද?' කියලා

Thursday, February 24, 2011

ස්තුතියි හැමෝටම..

මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි. 
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.  


හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි. 


ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්‍රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං. 
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.

Tuesday, February 22, 2011

පිටිකිරි වල තිත්ත පැත්ත.



මේ පොස්ට් එක බලන ඔබ  උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.


ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්. 
ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි වන ඒවා. තවත් කොටසක් ගොවිපලවල එළදෙනුන්ගෙන් දොවාගත් ඒවා. කොහොම වෙතත් මේ කිරි විසිර වියලනයක් තුල සෙල්සියස් අංශක 240ට රත් කරලා තමයි පිටි බවට පත් කරන්නෙ. එතකොට කිරි වාෂ්පයෙන් ජලය ඉවත්වෙලා පිටි ටික ඉතිරි වෙනවා. අපි හැමෝම දන්න විදියට මේ වෙන කොට ඒකෙ තිබුණු  පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මේ වෙනකොට නැතිවෙලා ඉවරයි.


ඒට පස්සෙ මේකට එක එක දේවල් එකතු කරනවා. විවිධ ප්‍රෝටීන වර්ග,විටමින ආදී වශයෙන්. හැබැයි මේ එකතු කරන දේවලුත් බොහෝ විට කෘතිමව සංශ්ලේශනය කරාපුවා.
සමහර විට  මේක කියවනකොට හිතේවි 'ඉතීන් අපි කිරි පිටි බීල වැඩක් නැහැනේ' කියල. ඇත්ත.. ගොඩක් වෙලාවට අපි මේක කරන්නෙ පුරුද්දට, නැත්නම් උත්තේජක පානයක් විදියට.


අපේ මේ පුරුද්ද හන්දා පිට රටවල් වලට අපේ රටින් ඇදිල යන විදේශ විනිමය ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 20 කට වැඩියි. 2007 දි පිටි කිරි මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරලා තියනවා. හිතලා බලන්න අපි රට සංවර්ධනයට කෑ ගගහ  හිටියට, අපි තාමත් රටින් කිරි ගෙන්නන්න සතියකට විතර සැරයක් රුපියල් දෙතුන්සීයක් පිටරටවලට පටවනවා.


රටක් හදන්න ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික් කරලාවැඩක් හැහැ. අපි හැමෝටම ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවා.
අඩුම වශයෙන් අපේ රටේ හදන දේවල් වත් මිල දීල අරගෙන..
අපේම රටේ හදන කිරිපිටි වර්ගයක් විදියට දැනට ගන්න තියන්නෙ 'හයිලන්ඩ්' විතරයි. ඒක දිය වෙන ගතිය ටිකක් අඩුයි ඒකට හේතුව දියවෙන්න දාන රසායනික ද්‍රව්‍ය නොදාන හන්දා. අනෙක් හැම එකකටම දාන ජාති හොයලා බැලුවොත් අපිට බොන්න හිතෙන්නෙ නෑ.


අනිත් කාරණාව තමයි ගොඩක් කොම්පැණි අපිට ආදරේට කිරි පොවනවා නෙවෙයි, ඒ අය නිශ්පාදන වියදමෙන් 60%ක් විතර වැය කරන්නෙ ප්‍රචාරණ කටයුතුවලට, තින් අපෙ 'නුවණක්කාර අය', 'අම්මාගේ පෝෂණය දෙන්න කැමති අය', 'දෙනුන්ගෙන් දොවාගත් නැවුම් එළකිරි' දෙන්න කැමති අය අත දිග ඇරලා දෙන්නෙ මේ බව දැන්ගෙන නෙවෙයි වෙන්න ඇති.



පුලුවන් නම් නැවුම් එළකිරි බොන්න, ඒක ගොඩාක් වටිනවා. නැති නම් කැඳ වර්ගයක් හරි, වෙනත් ඖෂදධීය පානයක් හරි බොන්න තියනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඔය වැඩකට නැති පාන වර්ග තවත් ලෙඩත් එක්ක අපේ ඇඟ ඇතුලට දාගන්නවට වඩා. දිය වැඩියා රෝග තත්ව වලත් ප්‍රධාන හේතුවක් තමයි අධික විදියට පිටි කිරි භාවිතය.

මට මේක ලියන්න හිතුනේ මගේම ගජයෙක් අසනීප හන්දා කිරි පිටි එකක් ගෙනැවිත් බොන හන්දයි. 
ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා මේ පුංචි කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් හිතලා බලන හැටියට.




ප.ලි. පාස්චරිත කිරි තමයි වෙළඳපලේ ගන්න තියන වැඩිම පෝෂණයෙන් යුත් කිරි වෙන්නේ.

Wednesday, February 2, 2011

පිළිකාව වසංගතයක් වේවිද? නැත්නම් වලක්වා ගන්න පුලුවන්ද?...

 දැන් ඉස්සරට වඩා පුදුම විදියට පිළිකා වැළඳීම නිසා මරණ වෙන ප්‍රමාණය වැඩියි. ඒක මම විතරක් නෙවෙයි. මේක බලන ඕනෙම කෙනෙකුට ඒවගේ අද්දැකීම් ඕනෑ තරම් ඇති. මට හිතෙන විදියට තව කාලයක් යනකොට වැඩිපුරම මරණ වලට හේතුවක් වේවි මේ රෝගය. මම දන්න විදියට මේකට අපේ ආහාර පුරුදු ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම ක්ෂණික ආහාර! 


මම අද ගියා බදුල්ල පිළිකා රෝහලේ ඉන්න, අපේ  අයිය කෙනෙකුගේ අම්ම්මාව බලන්න. අම්මා.. සංසාරේ දුක මතක් වෙනවා ඒ වගේ තැනකට ගියාම. කාට උනත් ඒවගේ දෙයක් උනාම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පවුලේ කෙනෙකුගෙනුත් හරි හමන් උපකාරයක් නැති උනොත් කොයි තරම් අසරණ වෙනවද? ඒ වෙලාවට පිහිටට ඉන්නෙ අපි පුලුවන් විදියට එකතු කරගත්තු මිනිස්සු ටිකක් විතරයි. 


අපෙ කැම්පස් එකේ අක්ක කෙනෙකුත්  නැති උනා මීට මාස 2කට කලින්. ඒත් පිළිකාවක් නිසා. අනේ මන්දා..මේක මට උත්තර නැති ප්‍රශ්නයක් හන්දයි මෙහෙම ලිව්වෙත්.  පුලුවන් විදියට නරක ආහාර  පුරුදු වලින් ඈත් වෙන්න. දැනුවත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකට කරන්න පුලුවන් මොනවද කියලා  කමෙන්ට් එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.

Friday, January 28, 2011

අවුරුදු තුනෙන් පූදින පොල් පැලයක් අපේ ගෙදරත් හිටවා ගමුද?

දැන් ලංකාවෙ තියන පොල් අර්බුදය ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකට අපිටත් දෙන්න පුලුවන් පොඩි විසඳුමක් ගැනයි මේ කියන්න යන්නෙ.
දැනට ශ්‍රී ලංකා පොල්පර්යෙෂණ ආයතනය හඳුන්වාදුන් කෙටිකලීනව පලදරන ප්‍රභේද කීපයක් තියනවා. එකක් තමයි CRI C-65, තව එකක් තමයි CRI C-60. මේ ප්‍රභේද දෙකම අවුරුදු තුනෙන් පූදිනවා. මේ අතරින්
 CRI C-65 ගෙවත්තකට වඩාත් සුදුසුයි.  මේ කියන ප්‍රභේද රජයේ අනුමැතිය ලත් බීජ අලෙවි කරන මධ්‍යස්ථානයකින් හරි එහෙම නැත්නම් කොළඹ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ තියන පොල් අලෙවි මණ්ඩලයෙන් හරි එහෙමත් නැත්නම් පොල් පැල විකුණන්න තියන ඕනැම තැනකින් ගන්න පුලුවන්. තවත් අලුත්ම ප්‍රභේදයක් තමයි 'කප් රුවණ' කියන්නෙ. මේක නම් ගන්න පුලුවන් ලුණුවිල පොල්පර්යෙෂණ ආයතනයේ අලෙවි අංශයෙන් විතරයි.
 ගන්න ගියාම මතක ඇතුව බලන්න ඕනෙ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් සහතික කරපු කොල පාට ලේබලය තියනවාද කියන එක. ඒත් එක්කම සාමන්‍යයෙන් පොලිතීන් ඇසුරුමේ CRI කියලා මුද්‍රණය කරල තියනවා.


අනිත් කාරනේ තමයි හිටවන්න ගියාම අඩි 4*4*4 වලක් කපන්න ඕන. අඩියට අඩි 1.5-2 විතර උසට පොල් ලෙලි දාන්න. තව අඩියක් විතර උසට පොහොර පස් හරි කොම්පොස්ට් මිශ්‍රණයක් හරි දාන්න. ඊට පස්සෙ පැලය හිටවලා නිර්දේශ විදියට පොහොර දාන්න පුලුවන්.


මේකට අවශ්‍ය විස්තර පැලය මිලදීලා ගන්නකොට පත්‍රිකාවකින් ගන්න පුලුවන්. පැලයක සාමන්‍ය මිල රුපියල් 150ක් විතර වෙනවා. ඉතින් මේ පොල් ගෙඩි 3ක වියදමනේ.


පොල් පැලයක් හිටවා ගන්න දැන් උනත් පරක්කු නැහැ. අඩි 10*10 විතර ඉඩකඩක් හොයා ගන්න පුලුවනි නම් පැලයක් හිටවන්න ටිකක් ප්‍රමාණවත්.
 එහෙනම් කප් රුකක් හිටවාගෙන ගෙවත්තත් ටිකක් ලස්සන කර ගමුද?



අලුතින් පායන සඳු..හිරු.. තරු..



ඡන්ද කාලෙ ඔන්න අයෙමත් ඇවිත්. තාප්ප පිරෙන්න පෝස්ටර්, තඩි කටවුට් එහෙමත් දැනටමත් එල්ලලා. ඒ අතරේ කට්ටිය ඉන්නවා පලාතට අලුතින් පායන ඉරවල්.. හඳවල්... අම්මෝ.... මෙහෙම යනකොට අපිව පිච්චිලා මැරෙයි!
 අනේ තමන්ට ප්‍රාදේශීය සභාවට යන්න මේ මිනිස්සු කොයි තරම් වියදම් කරනවද? මේ කට්ටිය ගෙන් සමහරු අවුරුදු පහටම හම්බ කරන්න තරම් බැරි තරම් මුදලක් දැනටමත් වියදම් කරලා ඉවරයි.


මිනිස්සුන්ගේ ලැජ්ජාව කොයි තරම් නැද්ද කියනව නම්, සමහරු දත් තිස් දෙකම පිරෙන්න හිනාවෙලා, සමහරු අමුතු ඇඳුම්  ඇඳලා. අනේ මෙහෙමත් රටක්!
ඇත්ටටම ලංල්කාවෙ මිනිස්සු තාමත් මෝඩයි. ඉස්සර නම් තමන්ට රස්සවක් දුන්න මිනිහට මුලු පරම්පරාවම ඡන්දෙ දුන්නා. දැන් යන්තම් පාර බාගෙට හදල දුන්න කෙනාට දෙන්න යනවා. ඇත්ත! ඒවා කරන්න ඕනෙ තමයි. ඒත් බලන්න ඒ කට්ටිය අවුරුදු දෙකක් විතර යනකොට අලුතින් වාහන ගන්නවා, අලුතින් ගෙවල් හදනවා,කාගෙද මේ සල්ලි? කොහෙන්ද මේ අයට මෙච්චර සල්ලි?
 අපේ සමහරු නොදන්නවා උනාට දේශපලනේ කරන ගොඩාක් අපේ මැති ඇමති වරුන්ට ස්විස් බැංකු ගිණුම් තියනවා. ඒ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපේ සල්ලි ගොනි පිටින් නොගියාට ඇත්තටම ගත්තොත් ලොරි ගානකට ලංකාවෙ සල්ලි ඔය බැංකු වල ඇති.


අපිත් ඉතින් හෙට රට හැදෙයි අනිද්දා රට හැදෙයි කියලා බලන් ඉන්නවා. අපේ කියලා පරමාදර්ශී නායකයෙක් පේන තෙක්මානෙක නෑ. ඉන්දියාවට මහත්මා ගාන්දි වගේ, චීනෙට මාවෝ සේතුං වගේ, ලංකාවට  කවුද? මහින්ද රාජපක්ෂද?
අනේ අපි මැරෙන්න කලින් වත්, මිනිස්සුන්ගේ සල්ලි හූරාගෙන කන්නෙ නැති, හැම මිනිහෙකුටම නීතියෙන් එකවගේ සලකන,තමන්ගේ අයියලා මල්ලිලා වගේ රටේ අනිත් අයිඅය්ලා මල්ලිලා ගැන හිතන, තමන්ගේ පුතා
වගේ අනිත් පුතාල ගැනත් හිතන නායකයෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු!