RSS

Friday, August 31, 2012

ඇමතිලාගේ බූදලයක් උන අපේ නිදහස් අධ්‍යාපනයේ හෙට දවස

කාලෙකට පස්සෙ අමාරුවන් හරි ලියන්න හිතුනෙ ඇහෙන, දැනෙන , හැඟෙන දේවල් තව දුරටත් හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හදන නිරර්ථක උත්සාහය නිසයි. ඒවගෙම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රශ්න කලින් පිටවුණු බවකුත්, ඒකට විරුද්ධව අනුරාධපුරේ උද්ඝෝෂණයක් තිබුණු බවත් කියවුණා. 
කොහොම නමුත් මට මතක විදියට දැනට අවුරුද්දක විතර වෙලේ ඉඳන් විභාග දෙපාර්තමෙනතුවෙන් හරියට තියාපු විභාගයක් ගැන නම් අහන්න ලැබෙන්නෙ නෑ. කැම්පස් කේස්, ඒ ලෙවෙල් කේස්, ඒ මදිවට ශිෂ්‍යත්වෙත් කේස්. හරියට විභාගයක් තියාගන්නවත් බැරි නම් දෙපාර්තමේන්තුවක් මොකටද?

අපි කෙලිනම කතාවට බහිමු. 
මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ 1996 දි. සාමන්‍යපෙළ කලේ 2002. උසස්පෙළ 2005. අපි ඉස්කෝලෙ යන කාලෙ මේ විදියෙ වැරදි කිසිම දෙයක් විභාගයක තිබුනෙ නෑ. මට විතරක් නෙවෙයි ඒකාලෙ ලියපු අයට මතක ඇති අඩුම ගානෙ වාර විභාගයකදි වත් අපිට ප්‍රශ්න පත්තර වරද්දල දුන්නෙ නෑ. උත්තර පත්තර ප්‍රශන් පත්තර එක්ක දුන්නෙ නෑ. ප්‍රශ්න අදහ ගන්න බැරි විදියට වැරදිලා තිබුනෙ නෑ. 
කවි පද වෙනුවට කුණුහරප මුද්‍රණය කරල තිබුනෙ නෑ.
පොඩ්ඩක් හිතල බලන්න මේ හැම දේම සිද්දවෙන්න පටන් ගත්තෙ දැනට අවුරුදකට - දෙකකට කලින් ඉඳලා. මුලින්ම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ප්‍රශ්න පත්තර වැරැද්දුවා. ඊට පස්සෙ උත්තර පත්තර ප්‍රශ්න පත්තරත් එක්ක දුන්නා. අන්තිමට කුණුහරපත් මුද්‍රාණය කරල දුන්නා. උසස්පෙළ කරපු ලමයින්ව නන්නත්තාර වෙන විදියට ප්‍රථිපල දුන්නා. අන්තිමට උසස්පෙල ප්‍රශ්න එහෙම්පිටින්ම වැරද්දල දීල තිබුනා.  ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙත් අනා ගත්තා. 
ටිකක් කල්පනා කරල බැලුවොත් ඕනම කෙනෙක්ට තේරෙනව මේකෙ එක්තරා රටාවක් තියනව කියලා.  
නැතනම් මේ තරම් කාලයක් හරියට කරපු දේවල් එකපාරටම වරදින්නෙ කොහොමද? උසස් පෙළ ප්‍රථිපල මේ තරම් වරදින්නෙ කොහොමද? මේට කලින් විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග තිබුනෙ නැද්ද?
පොඩි පොඩි ගැටලු මතු උනත්, ඒවට දෙපාර්තමෙන්තු මට්ටමෙන් හොඳම විසඳුම් දීල ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට වැඩ කලා. ඒත් ප්‍රවෘත්ති සාකච්ඡාවලදි අධ්‍යාපන ඇමතියයි, උසස්  අධ්‍යාපන ඇමතියයි, විභාග කොමසාරිස් තුමයි කතා කරන දේවල් බැලුවාම මුං ඉස්කෝලෙකට ගිහින් තියෙන එවුන්ද කියලත් වෙලාවකට හිතෙනව. වෙච්ච වැරැද්ද බාර ගන්න කිසි කෙනෙක් නෑ. අඩුම ගානෙ අපිට වැරැද්දක් උනා ඒක ඉක්මනට නිවැරදි කරන්න කටයුතු කරනව කියල කියන්නවත් මුන්ට කොන්දක් නෑ. හැමෝම එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව.
ඒත් එක්කම ආචාර්ය වරුන්ගෙ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්නත් කිසිම කෙනෙක්ට බෑ. ඔවුන්ගෙ ඉල්ලීම් දිහා බැලුවාම ඒව කොයි තරම් සාධාරණද කියල ඕනෙම කෙනෙක්ට තේරෙයි. මොකද, විදුලුබල මණ්ඩලේ හරි තෙල් සංස්ථාවෙ හරි අවුරුදු පහක සේවාකාලයක් සහිත රියදුරෙක් (අවම සුදුසුකම 8 වසර සමත්) ගන්න වැටුප ප්‍රථම හෝ දෙවනි පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු පහක සේවා කාලයක් තියෙන ආචාර්ය වරයෙකුට ලැබෙන වැටුපට වඩා වැඩියි. 
මම මෙතනදි රැකියා ඉහල හරි පහල හරි ලේබල් කරන්න යන්නෙ නෑ. ඒත් රටේ අනාගතයට වැඩි දායකත්වයක් දක්වන මිනිස්සුන්ට මීට වඩා දෙයක් අනිවාරයයෙන්ම සිදු විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ. 
ඒත් එක්කම විශ්ව විද්‍යාල වල ගැටලු වලට විසඳුම් දෙන විදියෙන් පේනවා අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් අමුතු ලෝකෙකින් අවිත් වගේ තීරන ගන්න හැටි. 
මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඒකට විරුද්ධත්වයක් දැක්වුවොත් ඒක කරන්නෙ ජෙප්පො, කරන හැම එකාම ජෙප්පො කියල ලේබල් ගහන එකයි මුලින්ම කරන්නෙ. 
ඒ අතරෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවමයි කියල උසස් අධ්‍යාපන ඇමති කියනව.
මම මුලිනුත් කිව්වා මේකෙ එක්තරා රටාවක් තියනව කියලා. ටිකෙන් ටික රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලු වලට යවනවා රජයේ පාසැල් වැඩකට නැහැ. ඒවට යවනවට වඩා ඉන්ටනැෂනල් ස්කූල් එකකට තමන්ගෙ ලමයව යැව්වොත් වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන් කියන එක අදටම බොහෝමයක් රටේ මින්ස්සුන්ගෙ හිත් වල තියෙනව. ඒක රැල්ලල්ක් විදියට රටේ හැම තැනම ක්‍රියාත්මකයි. තැන තැන අලුතෙන් ඇතිවෙන අන්තර්ජාතික පාසැල් දිහා බැලුවම ඒක හොඳටම හිතා ගන්න පුලුව්න්. ඒ රැල්ල කොයි තරම් දරුණුද කියනව නම් අවුරුද්දක් පහල පන්තියට හරි තමන්ගෙ දරුවව ඇතුලත් කරවන්න දෙමවුපියො ලෑස්ති වෙලා ඉන්නෙ. මේක කිසි සේත්ම අතිශ්‍යෝක්තියක් නෙවෙයි මොකද අපෙ ගෙදරට පහල ගෙදර පොඩි එකා ලබන අවුරුද්දෙ 8 වසරට පාස් වෙන්න තියෙද්දි ඌව ඉන්ටනැෂනල් ස්කූල් එකකට ලබන අවුරුද්දෙ 7 වසරට ඇතුලත් කරන්න (8 වසරෙ ඉන්න ඉඩ නැති නිසා) උගේ දෙමවුපියෝ ලෑස්තියි. ඔයවගේ දෙමවුපියෝ මේ රටේ ඕනෙ තරම් ඉන්නවා. 
මම කලිනුත් කිව්වා මේක සිද්ධ වෙන්නෙ රටාවකට කියලා. ඇත්තටම රජයේ පාසැල් (විශේෂයෙන්ම ගමේ පාසැල්) වැඩකට නැති තැන් කියල පිලිගන්න මේ රටේ බොහොමයක් දෙමවුපියො ලෑස්තියි.

ඒවගෙම ඊලඟට රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යනව රටේ තියෙන රජයේ විශ්ව විද්‍යාල කියන්නෙ රැග් කරන, පිකට් කරන, වර්ජන තියෙන කිසිම වැදගැම්මකට නැති තැන් විදියට. 
මේකෙ අවසානය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක. 
මේ වගේ තුච්ච අරමුණු ඉෂ්ට කරගන්න තමයි රජයේ ඉහලින් ඉන්න ඇමතියොයි උන්ට කත් අදින බත් බැලයොයි බලන් ඉන්නෙ. උන් ඒවට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ දිනමින වගේ රදා පත්තරයි අයි.ටී.එන් වගේ පස්ස හෝදන මාධ්‍යයි. ඒ වගෙම පැහැදිලිවම මේක කෙටි කාලීන සැලසුමක් නෙවෙයි. මේ රාජ්‍ය අධ්‍යාපනය නැති කරන්න හදන වැඩවලට අධ්‍යාපන කඩ කරන මිනිස්සු මුන්ට ඕනෙම දෙයක් දෙන්න ලෑස්තියි. 
තවත් දෙයක් තියෙනව. මේ වෙනුවෙන් වගේම කැම්ප්ස් වල ඉන්න අලයො ටික එකතු කරල පිහිටුවා ගත්තු නිදහස් ශිෂ්‍ය සංගමය වගේ ව්‍යාපාරත්, සිසු හැරවුම් වල ඉන්න යුක්ති අබේධීර වගේ ඉත්තොත් මේ කොන්තරාත්තුවෙ කොටස් කාරයො. 
උන්ගෙ සංගම්වල තේමාපාඨ, නොයෙක් වැඩ සටහන් වලදි දෙන පොර ටෝක් වලට අනුව නම් උන් තරම් රටට ආදරේ කරන් වෙන් කවුරුවත් නෑ. හැබැයි රටේ මිනිස්සු දන්නෙ නෑ උන් කැම්පස් එකේ ඉන්න ගමන්ම ඇමති වරුන්ගෙන් පඩි ගන්න රස්සා කරනව කියලා. 
අපි දන්නව කථිකාචාර්ය වැඩ වර්ජනයට සහය නොදක්වන පිරිසකුත් විශ්ව විද්‍යාල වල ඉන්නව. ඒ මිනිස්සු එක්කෝ උවමනාවට හරි නැත්නම් වෙනත් කෙනෙකුගේ බලපෑමට හරි තමයි එහෙම ඉන්නෙ. ඒත් අඩුම ගානෙ රටේ අධ්‍යාපනයෙ හෙට දවස වෙනුවෙන් එක වචනයක් කතා කරන්නවත් බැරි තරමට මේ මිනිස්සු ගොලු වෙලාද? 
වැඩේ තියන්නෙ සමහර කථිකාචාර්යවරු ඉන්නෙ අඟහරු ලොකෙන් ඇවිල්ල නෙ. ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ. 

තවත් දෙයක් තියෙනව. මේක ලියන මමත්, කියවන ඔබත් (බොහෝ විට) නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙනගත්තු අය. අපිට කොල්ලො පිකට් කරන කොට ඒවට යන්න බැරි වෙන්න පුලුවන්. ඇමෝනියා දාපු වතුර උනුත් එක්ක එකතුවෙලා කන්න බැරි වෙන්න පුලුවන්. උනුත් එක්ක කඳුලු ගෑස් කන්න බැරි  වෙන්නත් පුලුවන්. 
හැබැයි අපේ හෘදසාක්ෂිය දන්නව උන් කරන්නෙ වැරදි වැඩක් නෙවෙයි කියල. මොකද හෙට උපදින්න ඉන්න එකාටත් නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක කොහෙත්ම වැරැද්දක් නෙවෙයි. උන් මොනව කලත් කැම්පස් එකෙන් එලියට එකකොට උපාධිය හම්බ වෙනව. උන් කතා කරන්නෙ උන්ගෙ අයිතිය ගැන නෙවෙයි උන්ට බැටන් පොල්ලෙන් ගහන පොලිස් කාරයගෙත් දරුවො වෙනුවෙන්. අන්න ඒ යටගහපු ඇත්ත ගොඩක් මිනිස්සුන්ට තේරන්නෙ නෑ. නැත්නම් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නෑ. එහෙමත් නැත්නම් තේරුම් අරගේන සද්ද නැතුව ඉන්නවා.
ඒක නිසා අඩුම ගානෙ ආණ්ඩුවෙ කුණු හෝදන මාධ්‍ය වලිනුයි, ඇත්ත කත කරන්න බය මාධ්‍ය වලිනුයි රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියේන බොරුව නැති කරන්නවත් අපිට පුලුවන්. 
ඇත්තටම ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල තව කෙනෙක්ට කියන්නවත් අපිට පුලුවන්. නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් අකුරක් හරි ඉගෙනගත්ත ණයට, තව පරම්පරා ගානකට ඒක ලබාදෙන්න කරන අරගලයෙදි ඒ වෙනුවෙන් අඩුම ගානෙ වචනෙන් හරි සහය දෙන්න අපිට යුතුකමක් තියෙනවා. 
රටේ පාලක පැලැන්තිය (දේශපාලන භේදයකින් තොරව) හදන්නෙම මේක සල්ලි වලට යට කරල තමන්ගෙ මඩිය පුරව ගන්න. ඒක තමයි ටියුෂන් මාස්ටර් කෙනෙක්ට අධයාපනෙයි අධිකරණයට අපහාසකරපු, පෙන්වන්න බැරි තරම් වත්කම් එකතු කරගත්ත මිනිහෙකුට උසස් අධ්‍යාපනෙයි බාර දීල තියන්නෙ. ඒ මදිවට අලුතෙන් පක්ෂෙට පැන්න අධ්‍යාපන කඩ කාරයෙකුට 'අධ්‍යාපන අධීක්ෂණ' ඇමති කමකුත් බාර දීලා.

 ඇත්තම කතා කරනව නම් අධ්‍යාපනයට අය වැය ප්‍රතිපාදන වලින් 6%ක් වෙන්කරන්න බැරි කමක් නෙවෙයි තියන්නෙ. එහෙම නොකර ඒවා වෙන වෙන දේවල් වලට වැය කර්න එකයි කරන්නෙ. දැනට ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් 1.86ක්. අධ්‍යාපනය වෙනුවෙන් පාරම්බාන පාලකයො කොහොම කිව්වත් අනෙක් රටවල්වල තත්වය මෙන්න. 
ඩෙන්මාර්කය 8.7%ක්, මාලදිවයින 8.7%ක්, නෝර්වේ 7.3%ක්, ස්වීඩනය 7.3%ක්, කෙන්යාව 6.7%ක්, නෙදර්ලන්තය 5.9%ක්, ඊශ්‍රායලය 5.9%ක්, මලයාසියාව 5.8%ක්, බ්‍රසීලය 5.8%ක්, කොස්ටාරිකා 6.3%ක්, දකුණු අප්‍රිකාව 6.0%, කොරියානු ජනරජය 5.0ක්, දුප්පත්කමේ පතුළේම සිටින ස්වාසිලන්තය 7.1%, ඉතියෝපියාව 4% වැඩි ප්‍රමාණයක් ඒවගේම සමාජවාදී කියුබාව 18%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා.
ලංකාවෙ සිද්ධ උනු හෙජින් වංචාවෙ පාඩුව රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි
අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011
අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි.
ඕනෙම කෙනෙකුට පේනවා අධ්‍යාපනේ යන්නෙ කොයි පැත්තටද කියලා. 
ඇමති මර්වින්ගෙ පුතා කියනවා මම සාමන්‍යපෙලවත් හරියට පාස් නැහැ කියලා. පාවිච්චි කරන කාර් එකේ ගාන ලක්ෂ 400යි.
වටේට පෞද්ගලික ආරක්ෂකයො 8 දෙනයි. 

රටේ මහ තැන් වල ඉන්න එවුන්ගෙ පුත්තු ක්ලබ් වල රස්තියාදු ගහනකොට, රටේ සල්ලි නාස්ති කරනකොට, පොඩි දරුවන්ව අනාථ කරනකොට අපේ ගමේ ගොවිතැන් බතක් කරලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න අම්ම තාත්තගෙ පුතාල තව පරම්පරා ගානකට අධ්‍යාපනේ රැක ගන්න පාරවල් ගානෙ ගුටි කනවා. කඳුලු ගෑස් කනවා. 

අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්‍රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ට බත් පැකට් එකක්, අරක්කු ටිකක් දීපු මන්ත්‍රී තුමන්ලාගේ බූදලෙන් නෙවෙයි. 
වැඩේ තියන්නෙ ලංකාවෙ බහුතරයක් වෙච්ච ආත්මාර්ථකාමී කුහක මිනිස්සු නිසා නියම ඇත්ත අනිත් මිනිස්සු දැන ගන්නෙ නෑ. අපිට කියන්න තියන්නෙ අයි.ටී.එන් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දකින්න කිය  එකයි. 
අධ්‍යාපනේට වැඩිපුර මුදල් දෙනවාකියන්නෙ තවත් දරුවන්ට ඉහලට යන්න, තමන් බලාපොරොත්තුවෙන මට්ටමේ ඉගෙනීමක් ලබා ගන්න පුලුවන් වෙනවා කියන එකයි. ඒක වෘත්තීය මට්ටමේ එකක් වෙන්න පුලුවන් නැත්නම් වෙනත් බාහිර සුදුසුකමක් වෙන්න පුලුවන්. අවසානෙදි රටේ බහුතරයක් බුද්ධිමතුන් බිහි වෙනවා.
 ඒබ්‍රහම් ලින්කන් වගේ අය ප්‍රමුඛවම සලකපු අධ්‍යාපනය අපේ පාලකයො තමන්ට ඕනෙ විදියට පාලනය කරගෙන තියනවා. මතක තියා ගන්න එකම දේශපාලකයෙකුගෙවත් දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නෙ නෑ මේ වෙනකොට. ඒ කියන්නෙ කවද හරි උන්ට බලය ආපු දවසක නිදහස්  අධ්‍යාපනය කියන දේට එක සතයක් වියදම් කරන එකක් නෑ. 
එහෙම, රටේ මිනිස්සුන්ට මොලේ පෑදුනාම මුන්ට බලේ ඉන්න බැරි වෙන හන්දයි තවත් මේක කප්පදු කරලා සල්ලි තියෙන එකාට විතරක් ඉගෙන ගන්න දෙන්න හදන්නෙ. මොකද අසාධාරණයක් උනත් එහෙම කෙනෙක් කතා කරන්නෙ නෑ. මොකද තමන්ට ඇති වෙනකල් සල්ලි තියෙනවා. ඒ වගේම උන්ට අනිත් එකාගෙ දුක දැනෙන තරම හිතක් නෑ.  
එක වතාවක් එස්.බී. ගෙ පුතා රට ඉඳල (කැම්පස් ඉඳල) එනකොට එක්කන් එන්න කටුනායකට යන්න වෙලාව පරක්කුවෙලා ඉගිල්ලුන ඩිපෙන්ඩර් එකක හැපිලා මනුස්සයෙක් මැරුණා බොරැල්ලෙදි. ඒක ගැන කතාවක් වත් නැති උනා දවස් කීපයකින්ම. බලන්න උගේ පුතාටයි අපේ පුත්තුන්ටයි සලකන වෙනස. අපේ පාරවල් ගානෙ කෑ ගහන කොල්ලොත් මේ රටේ තාත්තලගෙ දරුවො. හැබැයි ඒ තාත්තල අසාධාරණ විදියට සල්ලි හම්බ කරපු අය නම් නෙවෙයි. ඒ වගේම කොයි තාත්ත උනත්, 'මමයි ආඩම්බරකාර තාත්තා' කියල ලමයි ඉම්බ පලියට, කාර රේස් තිබ්බ පලියට, ලමයි වටේට තියලා පොටෝ ගහල ලොකුවට පාරෙ එල්ලපු පලියට ආඩම්බර කාරයෙක් වෙන්නෙ නෑ. කරන්න තියන්නෙ තව අවුරුදු ගානකින් හරි ඉපදෙන්න ඉන්න පොඩි එවුන්ට අධ්‍යාපනය කියන දේ වෙලඳ භාණඩයක් නොකර ආරක්ෂා කරන එකයි. 

මේ ප්‍රශ්නය දිහා නිවැරදිව දකින්නට ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇස් පෑදේවා නිදහස් අධ්‍යාපනය ලබපු හැම කෙනාම මේ සටනට එකතු වේවා ප්‍රර්ථනා කරල  සටහන නවත්තන්නම්. 




Monday, September 26, 2011

වලස් ගොවිපල

ගිය සතියෙ පුස්තකාලයට  ගිය වෙලාවෙ සමුදුර පත්තරේ (මට මතක හැටියට) තිබුන විශේෂාංගයක් ගැනයි ලියන්න යන්නේ.
අපි සත්ව ගොවිපලවල් කියලා සමාන්‍යයෙන් සලකන්නේ කුකුල්, හරක්, ඌරු,එලු, එහෙමත් නැති නම් මසට හදන වෙනත් පක්ෂීන්(poultry species) සඳහා වෙන්වූ තැනක්.
ඒත් මේ කියන්න යන්නේ ඊටවඩා ගොඩාක් වෙන්ස් ගොවිපලක් ගැන. මේක 'වලස් ගොවිපලක්'.
තිරිසන් මිනිසුන් වෙනුවෙන්...
කූඩුවක ජීවිතය ගෙවන වලසෙක්.
 වලස් ගොවිපලවල් චීනය, වියට්නාමය සහ කොරියාව කියන රට වල පිහිටුවලා තියනවා. දැනට තියෙන සංඛ්‍යා ලේඛන වල හැටියට අඩුම තරමේ වලසුන් 12000ක් වත් ගොවිපල වල ඇති කරනවා.
අපි දන්න තරමින් වලහා කියන්නේ වනගත,ටිකක් දරුණු සතෙක්.ඒත් මොකටද මේ සතාව ඇති කරන්නෙ? මසටද?
නෑ. මෙයාගේ පිත්තාශයෙන් ස්‍රාවයවන පිත ලබා ගන්න.
මේ පිත, නිධන්ගත රෝග නිවාරණයටත්, විවිධ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදාගන්නවාලු. නවීන විද්‍යාවේ පිහිටෙන් මේ  වෙනුවට යොදාගන්න පුලුවන් වෙනත් වැඩිදියුණු කරන ලද ඖෂධ නිපදවලා තිබුණත්, ලෝකය පුරා විහිදිලා ඉන්න අකාරුණික මිනිස්සුන්ගේ ආශාවන් සන්සිඳුවන්න තාමත් මේ සතාගෙන් පිත් ස්‍රාවය කරගන්නවා.
 ඇමරිකානු සහ ආසියාතික කලු වලසුන්,sloth සහ spectacled වලසුන් මෙන්ම හිම වලසුන් ද මේ සඳහා යොදා ගන්නවා.
මේකෙ අකාරුණිකම පැත්ත මේකයි. මේ සඳහා කූඩු කර සිටින වලසෙකුගෙන් දවසකට කීප පාරක්ම පිත් ස්‍රාවය එකතු කරගනු ලබනවා. ඒක පහසු කරගන්න සතාගේ උදරය බාහිරයට නිරාවරණය වෙන විදියට නාලයක් හෝ විවෘත කැපුමක් යොදලා තියනවා.
ඉතින් අපි දන්නව ඒ විදියට බාහිරයට ශරීර අභ්‍යන්තරය නිරාවරණය වෙනවා කියන්නෙ ආසදනය වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පිත් ස්‍රාවයට යොදාගන්නා වලසුන් සෑම විටකම වගේ උදරාබාධ වලින් පීඩා විඳිනවාලු.
පිත් ස්‍රාවයට යොදාගත් වලසුන් සහ වලස් ගොවිපලක්


ඒ පීඩණය කොයි තරම්ද කියනවා නම් උගේ ඊලඟ උත්සාහය තමයි මිය යන තුරු ම උදරයට පහර දීම. මේක නවත්ත ගන්න ගොවිපල පාලකයන් කරන්නේ අතපය දික් කරන්න බැරි ඉතාමත් කුඩා කූඩුවක සිර කිරීමයි.
මේ කුරිරු වද බන්ධන ගැන අනාවරණය උනේ එක්තරා වලසුන් ඇති කරනා සමාගමක් කොටස් වෙලඳපලට පිවිසෙන්න දරපු උත්සාහයකදී කියලා ඒ ලිපියේ තිබුනා. ඊට පස්සෙ මමත් මේ ගැන විස්තර ටිකක් හොයලා තමයි මේ ලිපිය දාන්න හිතුවේ.


ඒකේ අන්තිමට පුංචි කතාවකුත් කියලා තිබුණා. මේ විදියට වලසුන් ඇති කරන ගොවිපලක වලස් අම්මා කෙනෙක්ට පුංචි පැටියෙක් ලැබිලා තියෙනවා. ඒත් අම්මටයි පැටියටයි ලං වෙන්න තරම් ඉඩක් නැහැනේ. කොහොම හරි පැටියව දැකපු අම්මා කූඩුවේදොර කඩාගෙන පැටියා ලඟට ගියාලු. පැටියව පපුවට තුරුලු කරගත්ත අම්මා එක ක්ෂණයකින් පැටියාගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මලු.

Tuesday, September 20, 2011

අලුත් ආරක්ෂාව

මටද බ්ලොගයක් තිබේ! එහි ලියන්නටද දේවල් තිබේ. ඒ නිසා කෙසේ හෝ ලිවිය යුතුය.. ඔන්න ඔය දේවල් මතක් උනා මට මේ දවස් ටිකේම.
 අවසාන පර්යේෂණයත් ඉවර කරලා විශ්ව විද්‍යාලයට ආවෙ පෙරේදා. වෙනසක් නෑ බදුල්ල ඒ වගේමයි. වැඩිපුරත් එක්ක සීතලයි. ඒ අතරෙ ආරංචියක් ලැබුණා 'විශ්ව විද්‍යාල ආරක්ෂාව වෙනම පෞද්ගලික ආයතනයකට පවරන බව'. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ නිසා අසරණ වෙන පිරිසකුත් ඉන්නව ඇත්තටම.
දැනට විශ්ව විද්‍යාල වල ආරෂක කටයුත් කෙරෙන්නේ පෞද්ගලික සමාගම් කීපයක් මගින්. ආරක්ෂාව කිව්වාම වැඩි හරියක් කරන්න තියන්නේ තියෙන බඩු බාහිරාදිය හරියට තියෙනවාද, අවසලත් අය පමණක් අදාල තැන් වලට ඇතුලු වෙනවද කියලා බලන එකයි. 
ඊට වඩා දේවල් කලත්, අපිට නම් ගොඩක් වෙලාවට පේන්නෙ ඒව තමයි. ඊට අමතරව අපේ 'සමහර' ගැහැනු අයට කේලම් කීමේ රාජකාරියත් පැවරිලා තිබුණා මීට කාලයකට කලින්.
කොහොම වෙතත්, සියලු දේවල් එකම තැනකට පවරාගෙන, මේ කරන්න යන්නෙ මොකක්ද කියලා දැන්ම තේරෙන එකක් නෑ. කැම්පස් එකකට ඇත්තටම හමුදාවක් ඕනෙ වෙන්නෙ නෑ. එතනට එන්නෙ යමක් හිතලා කරන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් මිසක් ත්‍රස්තවාදියො ටිකක් නෙවෙයි.
අනාගතයේදි මොනවා වෙයිද කියලා හරියටම අනාවැකි කියන්න බැරි උනත්, ලොකු ගැටුම් නිර්මාණය වීමේ වැඩි ඉඩ කඩක් තියනවා. මොකද අපිව කවුරුවත් බලෙන් පාලනය කරන්න එනවට අපි කිසි කෙනෙක් කැමති නැහැ.මේ වෙනකල් නම් ආරක්ෂක අංශය නිසා විශ්වවිද්‍යාල තුල ගැටුම් නිර්මාණය වෙලා නැහැ. ඒක නිසා අනාගතයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන මිනිහා නටපන් පුතා කියනකොට නටන, වැඳපන් පුතා කියනකොට වඳින කෙනෙක් වෙයිද කියලත් සැකයි මේ යන විදියට. මොකද බහුතරයක් රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා. ලොකු පුටුවලට පන්දම් කාරයෝ ගිහිල්ලා. 
මේ කාරණාව නිසා කලින් ආරක්ෂක සේවයේ හිටපු අයට එතනින් ඉවත් වෙන්න සිතු වෙනවා. එතකොට ඒ අයගේ පවුල් වල අයට මොකද වෙන්නෙ. මම දන්න පවුල් කීපයක්ම මේ රැකියාවෙන්ම යැපෙනවා. දැනගන්න ලැබුණු විදියට ඒ අයට වෙනත් තැනක රැකියා මේ වෙනකොටත් නෑ.

 මේක කොයි විදියට සිදු වේවිද කියලා දැන්ම අනුමාන කරන්න බැහැ. නමුත් ලබන මාසෙ පලමු වෙනිදා ඉඳලා අලුත් අය එනවා. 


බලමු අලුත් වෙනසක් වේවිද කියලා. මොකද අපි මේ ආශ්චර්යය කරා යන ගමනක් නෙ.

                                        

Wednesday, June 8, 2011

සෙල්වකුමාර්...

කාලෙකට පස්සෙ ලියන අලුත් පෝස්ට් එක. ලියන්න දේවල් කොයි තරම් හිතට ආවත් කාලයත් එක්ක ප්‍රශ්න හන්දා ලියන එක පරක්කු උනා. ඒකටම හරියන නිදි මත. 
හරි, දැන් මතෘකාවට එමු. 

ප්‍රධාන චරිතය මම දැනට අවසාන වසරෙ පර්යේෂණය කරන ආයතනයෙ සේවය කරන නිලධාරියෙක්. නම සෙල්වකුමාර්. අපි මුලින් නම් කිව්වෙ K.M. කියලයි.  ආ.. කියන්න බැරි උනානෙ මමයි මගේ යාලුවයි මෙතනට ආපු දවස් කීපයේම කලේ කට්ටිය අඳුනා ගන්න එක.ඒ හන්දා වැඩ කරන හැමෝටම අපේ බාසවෙන් කාඩ් ටිකක් දැම්මා.දානකොට එච්චරම කැත කාඩ් දැම්මෙත් නෑ ඉතින්, හොඳ නෑ නෙ. සමහර විට සත්තුන්ගෙ විද්‍යාත්මක නමක කොටසක් හරි වනගත පූර්වජයෙකුගෙ නමක් වගේ එකක් දැම්මා එච්චරයි.
එක එක්කෙනාගේ හැසිරීම, බාහිර ගති ලක්ෂණ වගේ දේවල් බලලා තමයි ඒ අයව වෙන් කරල අඳුනා ගත්තෙ. ඔහොම යනකොට අපේ මේ කතා නායකයාට නම දාන එක බොහෝම ලේසි උනා. එයාගෙ කන් දෙකම පිරෙන්න රෝම. අපිත් ඉතින් කෙලින්ම 'කනේ මයිලා' කියලා කියන්න බැරි හන්දාK.M කිව්වා. 

සෙල්වකුමාර් කියන්නේ අවුරුදු 28ක් රාජ්‍ය සේවයේ හිටපු සේවකයෙක්. කෘෂිකර්ම පර්යේෂකයෙක්,ඩිප්ලොමාධාරියෙක්. ලංකාවෙ කෘෂිකර්මාන්තය ගැන තියෙන දැනුම පුදුමයි. උඩරට, පහතරට එළවලු ගැන එහෙම නොදන්නා දෙයක් නෑ. ඊට අමතරව මෙයා ගොඩාක් වැඩ කරලා තියන්නෙ බීජ වල පැලවීම, සුප්තතාව සෙවීම වගේ දේවල් එක්ක.
කොයි තරම් දැනුමක් තිබුනත් පොඩ්ඩක් වත් ආඩම්බර නැතිකම හන්දයි මම මේක ලියන්න තෝරාගත්තෙත්. ගොඩක් මිනිස්සු ලඟ තියෙන ලොකුකම මේ මනුස්සයාගෙ අහලකවත් නෑ. සමහර විට මටත් වැඩ වලට උදවු කරනවා. අහන ඕනෙම දෙයක් තේරෙන විදියට කියලා දෙනවා. ලංකාවෙ කෘෂිකර්මාන්තයට වෙලා තියන දේ පියවරෙන් පියවරට මේ මනුස්සයා විස්තර කරනවා. තමන්ගෙ අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න හරිම කැමති, විනෝදයට බර මනුස්සයෙක්.
අපිට හම්බවෙන බහුතරයක් කුහක මිනිස්සු අතරේ මට හමබ වුණු බොහොම හොඳ මනුස්සයෙක්.


දැන් වගේ නෙවෙයිලු, ඒකාලෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දියාරු වෙච්ච ආයතනයක් නෙවෙයිලු. ඒකනිසාම මෙයාටත් නෙදර්ලන්තය, ඉන්දියාව, ඊජිප්තුව වගේ රටවල තිබුණු වැඩසටහන් වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.
ලංකාවෙ ඕනෙම පලාතක දේශගුන රටාව, ඒකට අනුව වගාකරන විදිය, වගා කරන කාලය හරි අපූරුවට විස්තර කරනවා. හැබැයි පොඩි අවුලකට තියන්නෙ වැඩක් නැති උන වෙලාවට පොඩි නින්දක් දාන එක තමයි. ඒත් කාටවත් ඒක හොයන්න බෑ, ලඟටම ඇවිත් ඇස් දෙක දිහා බැලුවොත් විතරයි පේන්නෙ.
ඇත්තටම මේවගේ මිනිස්සුන්ගෙන් ගන්න අද්දැකීම් එක්ක තව ගොඩක් දේවල් කරන්න අපේ රටේ වගකිවයුතු ආයතන උනන්දු වෙන්න ඕනෙ. ඒවානම් ඉතින් කොහොම කෙරෙයිද දන්නෙ නෑ. කොහොම නමුත් සෙල්වකුමාර් (K.M) මහත්තයාට දීර්ගායූ වේවා! කියලා පෝස්ට් එක නවත්තනවා. ගිහින් එන්නම්.

හැබැයි, මම මේක ලියනවා කියල එයා දන්නෙ නෑ. බ්ලොග් කියන්නෙ මොකක්ද කියලවත් ඒ මනුස්සයා දන්නෙ නෑ.

Saturday, May 21, 2011

මනුස්සකම හඳුනන මිනිසුනි ආචාර වේවා!..

මමත් මේ ලියන්න යන්නෙ දිලුම්ට නිවන් සුව ලැබේවා කියල විතරක් නෙවෙයි. තවත් එක නොහැඳුරූ, නොදුටු (ඇතැම්විට) සහෘදයෙකු වෙනුවෙන් එකතු උනු හැමෝටම ස්තුතියි කියලයි. ඉලන්දාරියා අපි කවුරුවත් නොහිතපු වෙලාවක, එයාවත් නොහිතපු වෙලාවක නොකියාම යන්න ගියා. 
ඒකෙන් අපි හැමෝටම අමතක නොවෙන දුකක් ඇති උනා විතරක් නෙවෙයි අපි කතා කරන්නත් පටන් ගත්තා.
ඒත් දිලුම් ගැන මුලින්ම දැන ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙන කම් කොයි තරම් කැප කිරීම් කරපු මිනිස්සු හිටියද? අපි හැමෝම ඒ මිනිස්සුන්ට ආචාර කරන්න ඕනා මනුශ්‍යත්වයේ නාමයෙන්. තමන්ගෙ වෙලාව, මුදල්, ආදිය උනත් මේ විදියට දෙන්න හැමෝටම බැහැ. තමන් ගැන මහා ලොකුවට හිතාගෙන ඉන්න පුහු මිනිසුන්ට, පොරවල් වලට කවදාවත් ලබන්නට බැරි නිරාමිශ සතුටක් ඒ වෙනුවෙන් තමන්ගෙ දේවල් කැප කරපු මිනිස්සුන්ට තියෙනවා. 
මෙහෙම ලිව්වත් මම අඩුම ගනනේ මළ ගෙදරටවත් සහභාගී උන කෙනෙක් නෙවෙයි. වැඩිපුර වැඩ යොදාගෙන ඒකටවත් නිදහසක් නැති උන එකෙක්. ඒ නිසා මම ඔබට ලැජ්ජාවෙන් යුතුව ආචාර කරමි පරාර්ථකාමී මිනිසුනි!



ඉවර කරන්න හදනකොට මට මතක් වෙනවා නන්දා මලනී මහත්මියගෙ ගීතයක්.
 "නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්.. 
 හඬ හැති මුවගට කටහඬ විය හැකි නම්..
 අහිමිමු දෙපයට පායුග විය හැකි නම්.. 
 පොඩි මිතුරෝ. මම නුඹ සිප ගන්නම්.."

Sunday, March 27, 2011

විකිරණ වලට හානි කරන්න බැරි උන ජපන් ජනතාවගේ එකමුතුකම.

ජපානෙට සුනාමියක් අවිල්ලා සෑහෙන ගානක් මැරිලා, විකිරණ කාන්දු වෙලා.. තව ගොඩාක් දේවල් වෙලා ඉවරයි. 


මේක අතුරු කතාවක්.. හිතලා බලන්න දෙයක්.
මේ මොනවා උනත් බලන්න තව ටික කාලෙකින් ජපානෙ හිටියටත් වඩා හොඳට අලුමතින් නැගිටිනවා. මොන විපතක් උනත් කලින් හිටියට වඩා ශක්තිමත් වෙන්න ඒ රටේ මිනිස්සු හැඩ ගැහිලා තියනවා.
ෆුකුශිමා බලාගාරයට හානි උනාට පස්සෙ ඒක පිලි සකර කරන්න එතනම වැඩ කරපු මිනිස්සු දිවි පරදුවට තියලා වැඩ කලා. ඒකට ජපානයේ විතරක් නෙවෙයි, මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ ශීර්ෂ ප්‍රණාමය
 ඒ 'උතුම් මිනිසුන්' ට හිමි වෙන්න ඕන.
තවත් සුවහසක් මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ ගැන වත් නොහිතා වැඩ කරන්න පුලුවන් ශ්‍රේෂ්ඨ මනුස්සයෙකුටම විතරයි. ඒට පස්සෙ රට ගොඩනගන එක හැමෝගෙම වැඩක් බව දැනගෙන හැමෝම එකා වගේ වැඩ කරනවා.

අපේ රටත් සුනාමි ආවා. අපි පුලුවන් විදියට හැමෝටම උදව් කර ගත්තා. ඊට පස්සෙ, දැන් ඉතින් ගොඩනගමු කියලා සින්දු කිව්වා, ආධාර ලැබුණා. ඒවා බහිරවයො ගිලපු වෙලාවල් තිබුණා. 
ජාතිවදී යුද්දයක් තිබුණා. ඒක ඉවර කරන්න අපේ කොල්ලො තමන්ගෙ ජීවිත පූජා කලා. හැමෝම තමන්ට පුලුවන් විදියට 'අපි ඔබ සමගයි' කියලා බැනර් එකක් වත් එල්ලුවා. ඊට පස්සෙ, යුද්ධ ජයග්‍රහණය එක එක්කෙනාගෙ නමට ලියාගන්න වලි කෑවා. දේශප්‍රේමීන් එක රැයකින් ද්‍රෝහීන් උනා. දේශද්‍රෝහීන් එක රැයකින් දේශප්‍රේමීන් උනා. රජගෙදරටම ආවා.  
 ජපන් ජාතිකයයි සිංහලයයි වෙනස් වෙන්නෙ මෙතෙන්දියි. විපතකට පස්සෙ ජපානෙ හැම මිනිහෙක්ම තේරුම් ගත්තා තමන්ට රට වෙනුවෙන් කරන්න දෙයක් තියනවා කියලා. තමන්ගෙ රට ගොඩ නගන්න තමන්ටම පුලුවන් කියලා ඔවුන් තේරුම් ගත්තා. ජපානෙ මිනිස්සු තමන්ට ඕනෙ කරන දේවල් තමන්ම හදා ගත්තා. ඒත් එක්කම රටේ හැමෝම දේශීය දේවල් මිලට ගත්තා. 
'ටොයොටා' වගේ විශාල සමාගම් උනත බිහි උනේ එහෙමයි. අපි හැමෝම ජපන් බෝනික්කගෙ කතාව දන්නවනෙ.අඩු පාඩු තිබුනත් ඒක ජපානෙ හදපු නිසා මිනිස්සු ඒක ගත්තා. අඩු පාඩු හැදුනා. ලෝකෙන්ම හොඳට බෝනික්කො හදන්නත් පුලුවන් උනා.
දේශීයතවය ගැන පුරාජේරු ගහන ජනතා නියෝජිතයන් ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ. බලන්න ජපන් ජාතිකයයි අපියි අතර තියන වෙනස! අපේ අය බඩුවක් මිලට ගන්න ගියම ඒක 'ඉම්පෝටඩ්' නම් වැඩියෙනුත් එක්ක ගෙවලා ගන්නව. 'ලෝකල්' එපා. තියන පොෂ් කමට රට කෑම කන්නෙ. ඉම්පෝටඩ් ඇඳුම් අඳින්නෙ. අනෙ මුන්ගෙ රෙද්දෙ පොෂ්. 
ඇයි පලතුරක් නම් ඉතින් ඇපල් හරි දොඩම් හරි තමයි!
මතක තියාගන්න. අනාගතේදි අපේ දරුවො, මුණුබුරෝ අපිට බනිනවා. ඇයි අපිවත් උඹලා ණය කාරයො කලේ කියලා. අපේ රටේ ලොක්කො වෙන රටවල් වලින් හිඟා කාගෙන ඇවිත් අපිට 'සහන' දෙනවා. අපිම නොදන්න විදියට ඒවා උන් ආයෙ ගන්නවා. ලොකු සංවර්ධන වැඩ වලට 'ණය' ගන්නවා. ණය ගත්ත රටෙන්ම කොම්පැණියක් ඇවිත් වැඩ කරනවා. අපි උන්ගෙ සල්ලි උන්ටම දීලා තවත් හිඟන්නො වෙනවා.


මේ දේවල් වලට අපිට එක පාරටම මොනවත් කරන්න බැරි  උනත් කරන්න පුලුවන් දේවල් තියනවා. අපේ දේවල් විතරක් මිලට ගත්තොත් හදන එකාට ඒක ලොකු හයියක්. ඒකෙන් තවත් කට්ටියට රැකියා ලැබෙනවා පිටට යන මුදල් අඩු වෙනවා. නැති නම් වෙන්නෙ ආනයනය කරන්න දීපු 'සහන' ටික පියවන්න තවත වැඩිපුර බදු ගෙවන්න වෙන එකයි.(යකෝ! මේ සහන කියලා කපා හරින මුදල් අය-වැය පරතරය නැති වෙන්න ආයෙ බදු විදියට ගෙවන්න ඕනෙ අපිම තමයි)


ස්තුතියි මේ ටික කියෙව්වට! හිතෙන්ම අහලා බලන්න 'ශ්‍රී ලාංකිකද?' කියලා

Thursday, February 24, 2011

ස්තුතියි හැමෝටම..

මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි. 
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.  


හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි. 


ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්‍රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං. 
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.