RSS

Thursday, February 24, 2011

ස්තුතියි හැමෝටම..

මේ ලෝකෙ හැම කෙනෙකුටම යම් කිසි දිනයක් තමන්ගේ සැමරුම් දිනයක් විදියට වෙන් කරගන්න පුලුවන්. ඒක අවුරුද්දකින්, දෙකකින්, තුනකින්, එහෙමත් නැතිනම් වෙන කාරණාවක් හන්දා සමරන දෙයක් වෙන්න පුලුවන්. ඔන්න! මටත් එහෙම සමරන්න දෙයක් තියනවා නොවැ..
අද වගේ දවසක හැමෝටම ස්තුතියි කියලා කියන එක මගේ යුතුකමක් කියලා හිතනවා. මොකද මගේ බ්ලොග් කෙරුවාව පටන් අරගෙන මේ මාසෙ 21 වෙනිදට හරියටම අවුරුද්දක්! මට මතක විදියට හදලා සතියකින් විතර පබ්ලිෂ් කරන්නත් පුලුවන් උනා. මං තාම පොඩ්ඩෙක් :) ඒ අවුරුද්ද ඇතුලෙදි මම බ්ලොග් එකෙන් ලෝකෙ ගැන දැනගත්ත දේවල්, බ්ලොග් රීඩර් වලින් ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහෝමයි. 
ඒ හන්දා, මම කාගේ හරි සයිබර් අවකාශයකට ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තානම්, මොනවා හරි දෙයක් ජීවිතේට ගත්තා නම් ඒ හැමෝටම ගොඩාක් පිං.  


හැබැයි මගේ පැත්තෙන් බලනකොට මම ගොඩාක් ලිපි ලියලා නැහැ. සමහර මාසවල එකක්වත් නෑ. ඒත් හොඳ දෙයක් ගැන ලීවාම ගොඩක් අය බලනවා, කොමෙන්ට් දානවා කියලා මම දන්නවා. ඉතින් මේ ටික කාලෙට මාව අඳුන ගත්ත, මගේ මේ පුංචි නවාතැනට ආපු ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි. 


ඒ අතරේ විශේෂයෙන්ම ස්තුති කරලා බැරිම කෙනෙක් ඉන්නවා. ඒ තමයි යසිත් මියුරංග; මගේ මිත්‍රයා. ස්තුතියි බෝලෙ ගොඩාක්. උඹ නැති නම් මම මෙච්චර දුරක් කීයටවත් එන්නෙ නෑ. මට ගොඩක් දේවල් කියලා දුන්නට ගොඩක් පිං. 
ඉතින් මේ විභාග අස්සෙත් අපි වැඩ. හිතට ආපු දෙයක් එක්ක ආයෙත් හම්බ වෙමු.

Tuesday, February 22, 2011

පිටිකිරි වල තිත්ත පැත්ත.



මේ පොස්ට් එක බලන ඔබ  උදේට කිරි කෝප්පයක් බොන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වෙන්න ඇති. එක එක ජාතියේ කිරි තියනවානෙ එක එක නම් වලින්. එක එක ජාතිය එක එක රස වලින්. ගොඩක් වෙලාවට පොඩි කාලෙ හුරු උන රසට තමයි ජීවිත කාලෙටම අපි තැන දෙන්න.


ඒත් මේක පිටිපස්සෙ තියන්නෙ ටිකක් වෙනස් කතාවක්. 
ලංකාවට පිටි කරන ලද කිරි ගෙන්වන්නෙ බොහෝ විට ඕස්ට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන්. මෙහෙම ගෙන්වන්නෙ කොටසක් ඒ රටවල නැවුම් විදියට විකුනන්න තියලා ඉතිරි වන ඒවා. තවත් කොටසක් ගොවිපලවල එළදෙනුන්ගෙන් දොවාගත් ඒවා. කොහොම වෙතත් මේ කිරි විසිර වියලනයක් තුල සෙල්සියස් අංශක 240ට රත් කරලා තමයි පිටි බවට පත් කරන්නෙ. එතකොට කිරි වාෂ්පයෙන් ජලය ඉවත්වෙලා පිටි ටික ඉතිරි වෙනවා. අපි හැමෝම දන්න විදියට මේ වෙන කොට ඒකෙ තිබුණු  පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් මේ වෙනකොට නැතිවෙලා ඉවරයි.


ඒට පස්සෙ මේකට එක එක දේවල් එකතු කරනවා. විවිධ ප්‍රෝටීන වර්ග,විටමින ආදී වශයෙන්. හැබැයි මේ එකතු කරන දේවලුත් බොහෝ විට කෘතිමව සංශ්ලේශනය කරාපුවා.
සමහර විට  මේක කියවනකොට හිතේවි 'ඉතීන් අපි කිරි පිටි බීල වැඩක් නැහැනේ' කියල. ඇත්ත.. ගොඩක් වෙලාවට අපි මේක කරන්නෙ පුරුද්දට, නැත්නම් උත්තේජක පානයක් විදියට.


අපේ මේ පුරුද්ද හන්දා පිට රටවල් වලට අපේ රටින් ඇදිල යන විදේශ විනිමය ප්‍රමාණය වසරකට රුපියල් බිලියන 20 කට වැඩියි. 2007 දි පිටි කිරි මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරලා තියනවා. හිතලා බලන්න අපි රට සංවර්ධනයට කෑ ගගහ  හිටියට, අපි තාමත් රටින් කිරි ගෙන්නන්න සතියකට විතර සැරයක් රුපියල් දෙතුන්සීයක් පිටරටවලට පටවනවා.


රටක් හදන්න ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික් කරලාවැඩක් හැහැ. අපි හැමෝටම ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියනවා.
අඩුම වශයෙන් අපේ රටේ හදන දේවල් වත් මිල දීල අරගෙන..
අපේම රටේ හදන කිරිපිටි වර්ගයක් විදියට දැනට ගන්න තියන්නෙ 'හයිලන්ඩ්' විතරයි. ඒක දිය වෙන ගතිය ටිකක් අඩුයි ඒකට හේතුව දියවෙන්න දාන රසායනික ද්‍රව්‍ය නොදාන හන්දා. අනෙක් හැම එකකටම දාන ජාති හොයලා බැලුවොත් අපිට බොන්න හිතෙන්නෙ නෑ.


අනිත් කාරණාව තමයි ගොඩක් කොම්පැණි අපිට ආදරේට කිරි පොවනවා නෙවෙයි, ඒ අය නිශ්පාදන වියදමෙන් 60%ක් විතර වැය කරන්නෙ ප්‍රචාරණ කටයුතුවලට, තින් අපෙ 'නුවණක්කාර අය', 'අම්මාගේ පෝෂණය දෙන්න කැමති අය', 'දෙනුන්ගෙන් දොවාගත් නැවුම් එළකිරි' දෙන්න කැමති අය අත දිග ඇරලා දෙන්නෙ මේ බව දැන්ගෙන නෙවෙයි වෙන්න ඇති.



පුලුවන් නම් නැවුම් එළකිරි බොන්න, ඒක ගොඩාක් වටිනවා. නැති නම් කැඳ වර්ගයක් හරි, වෙනත් ඖෂදධීය පානයක් හරි බොන්න තියනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඔය වැඩකට නැති පාන වර්ග තවත් ලෙඩත් එක්ක අපේ ඇඟ ඇතුලට දාගන්නවට වඩා. දිය වැඩියා රෝග තත්ව වලත් ප්‍රධාන හේතුවක් තමයි අධික විදියට පිටි කිරි භාවිතය.

මට මේක ලියන්න හිතුනේ මගේම ගජයෙක් අසනීප හන්දා කිරි පිටි එකක් ගෙනැවිත් බොන හන්දයි. 
ඉතින් හැමෝගෙන්ම ඉල්ලනවා මේ පුංචි කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් හිතලා බලන හැටියට.




ප.ලි. පාස්චරිත කිරි තමයි වෙළඳපලේ ගන්න තියන වැඩිම පෝෂණයෙන් යුත් කිරි වෙන්නේ.

Wednesday, February 2, 2011

පිළිකාව වසංගතයක් වේවිද? නැත්නම් වලක්වා ගන්න පුලුවන්ද?...

 දැන් ඉස්සරට වඩා පුදුම විදියට පිළිකා වැළඳීම නිසා මරණ වෙන ප්‍රමාණය වැඩියි. ඒක මම විතරක් නෙවෙයි. මේක බලන ඕනෙම කෙනෙකුට ඒවගේ අද්දැකීම් ඕනෑ තරම් ඇති. මට හිතෙන විදියට තව කාලයක් යනකොට වැඩිපුරම මරණ වලට හේතුවක් වේවි මේ රෝගය. මම දන්න විදියට මේකට අපේ ආහාර පුරුදු ගොඩාක් මේකට බලපානවා. විශේෂයෙන්ම ක්ෂණික ආහාර! 


මම අද ගියා බදුල්ල පිළිකා රෝහලේ ඉන්න, අපේ  අයිය කෙනෙකුගේ අම්ම්මාව බලන්න. අම්මා.. සංසාරේ දුක මතක් වෙනවා ඒ වගේ තැනකට ගියාම. කාට උනත් ඒවගේ දෙයක් උනාම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පවුලේ කෙනෙකුගෙනුත් හරි හමන් උපකාරයක් නැති උනොත් කොයි තරම් අසරණ වෙනවද? ඒ වෙලාවට පිහිටට ඉන්නෙ අපි පුලුවන් විදියට එකතු කරගත්තු මිනිස්සු ටිකක් විතරයි. 


අපෙ කැම්පස් එකේ අක්ක කෙනෙකුත්  නැති උනා මීට මාස 2කට කලින්. ඒත් පිළිකාවක් නිසා. අනේ මන්දා..මේක මට උත්තර නැති ප්‍රශ්නයක් හන්දයි මෙහෙම ලිව්වෙත්.  පුලුවන් විදියට නරක ආහාර  පුරුදු වලින් ඈත් වෙන්න. දැනුවත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකට කරන්න පුලුවන් මොනවද කියලා  කමෙන්ට් එකක් හරි පොස්ට් එකක් හරි දාන්න.

Friday, January 28, 2011

අවුරුදු තුනෙන් පූදින පොල් පැලයක් අපේ ගෙදරත් හිටවා ගමුද?

දැන් ලංකාවෙ තියන පොල් අර්බුදය ගැන කස්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකට අපිටත් දෙන්න පුලුවන් පොඩි විසඳුමක් ගැනයි මේ කියන්න යන්නෙ.
දැනට ශ්‍රී ලංකා පොල්පර්යෙෂණ ආයතනය හඳුන්වාදුන් කෙටිකලීනව පලදරන ප්‍රභේද කීපයක් තියනවා. එකක් තමයි CRI C-65, තව එකක් තමයි CRI C-60. මේ ප්‍රභේද දෙකම අවුරුදු තුනෙන් පූදිනවා. මේ අතරින්
 CRI C-65 ගෙවත්තකට වඩාත් සුදුසුයි.  මේ කියන ප්‍රභේද රජයේ අනුමැතිය ලත් බීජ අලෙවි කරන මධ්‍යස්ථානයකින් හරි එහෙම නැත්නම් කොළඹ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ තියන පොල් අලෙවි මණ්ඩලයෙන් හරි එහෙමත් නැත්නම් පොල් පැල විකුණන්න තියන ඕනැම තැනකින් ගන්න පුලුවන්. තවත් අලුත්ම ප්‍රභේදයක් තමයි 'කප් රුවණ' කියන්නෙ. මේක නම් ගන්න පුලුවන් ලුණුවිල පොල්පර්යෙෂණ ආයතනයේ අලෙවි අංශයෙන් විතරයි.
 ගන්න ගියාම මතක ඇතුව බලන්න ඕනෙ පොල් පර්යේෂණ මණ්ඩලය මගින් සහතික කරපු කොල පාට ලේබලය තියනවාද කියන එක. ඒත් එක්කම සාමන්‍යයෙන් පොලිතීන් ඇසුරුමේ CRI කියලා මුද්‍රණය කරල තියනවා.


අනිත් කාරනේ තමයි හිටවන්න ගියාම අඩි 4*4*4 වලක් කපන්න ඕන. අඩියට අඩි 1.5-2 විතර උසට පොල් ලෙලි දාන්න. තව අඩියක් විතර උසට පොහොර පස් හරි කොම්පොස්ට් මිශ්‍රණයක් හරි දාන්න. ඊට පස්සෙ පැලය හිටවලා නිර්දේශ විදියට පොහොර දාන්න පුලුවන්.


මේකට අවශ්‍ය විස්තර පැලය මිලදීලා ගන්නකොට පත්‍රිකාවකින් ගන්න පුලුවන්. පැලයක සාමන්‍ය මිල රුපියල් 150ක් විතර වෙනවා. ඉතින් මේ පොල් ගෙඩි 3ක වියදමනේ.


පොල් පැලයක් හිටවා ගන්න දැන් උනත් පරක්කු නැහැ. අඩි 10*10 විතර ඉඩකඩක් හොයා ගන්න පුලුවනි නම් පැලයක් හිටවන්න ටිකක් ප්‍රමාණවත්.
 එහෙනම් කප් රුකක් හිටවාගෙන ගෙවත්තත් ටිකක් ලස්සන කර ගමුද?



අලුතින් පායන සඳු..හිරු.. තරු..



ඡන්ද කාලෙ ඔන්න අයෙමත් ඇවිත්. තාප්ප පිරෙන්න පෝස්ටර්, තඩි කටවුට් එහෙමත් දැනටමත් එල්ලලා. ඒ අතරේ කට්ටිය ඉන්නවා පලාතට අලුතින් පායන ඉරවල්.. හඳවල්... අම්මෝ.... මෙහෙම යනකොට අපිව පිච්චිලා මැරෙයි!
 අනේ තමන්ට ප්‍රාදේශීය සභාවට යන්න මේ මිනිස්සු කොයි තරම් වියදම් කරනවද? මේ කට්ටිය ගෙන් සමහරු අවුරුදු පහටම හම්බ කරන්න තරම් බැරි තරම් මුදලක් දැනටමත් වියදම් කරලා ඉවරයි.


මිනිස්සුන්ගේ ලැජ්ජාව කොයි තරම් නැද්ද කියනව නම්, සමහරු දත් තිස් දෙකම පිරෙන්න හිනාවෙලා, සමහරු අමුතු ඇඳුම්  ඇඳලා. අනේ මෙහෙමත් රටක්!
ඇත්ටටම ලංල්කාවෙ මිනිස්සු තාමත් මෝඩයි. ඉස්සර නම් තමන්ට රස්සවක් දුන්න මිනිහට මුලු පරම්පරාවම ඡන්දෙ දුන්නා. දැන් යන්තම් පාර බාගෙට හදල දුන්න කෙනාට දෙන්න යනවා. ඇත්ත! ඒවා කරන්න ඕනෙ තමයි. ඒත් බලන්න ඒ කට්ටිය අවුරුදු දෙකක් විතර යනකොට අලුතින් වාහන ගන්නවා, අලුතින් ගෙවල් හදනවා,කාගෙද මේ සල්ලි? කොහෙන්ද මේ අයට මෙච්චර සල්ලි?
 අපේ සමහරු නොදන්නවා උනාට දේශපලනේ කරන ගොඩාක් අපේ මැති ඇමති වරුන්ට ස්විස් බැංකු ගිණුම් තියනවා. ඒ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපේ සල්ලි ගොනි පිටින් නොගියාට ඇත්තටම ගත්තොත් ලොරි ගානකට ලංකාවෙ සල්ලි ඔය බැංකු වල ඇති.


අපිත් ඉතින් හෙට රට හැදෙයි අනිද්දා රට හැදෙයි කියලා බලන් ඉන්නවා. අපේ කියලා පරමාදර්ශී නායකයෙක් පේන තෙක්මානෙක නෑ. ඉන්දියාවට මහත්මා ගාන්දි වගේ, චීනෙට මාවෝ සේතුං වගේ, ලංකාවට  කවුද? මහින්ද රාජපක්ෂද?
අනේ අපි මැරෙන්න කලින් වත්, මිනිස්සුන්ගේ සල්ලි හූරාගෙන කන්නෙ නැති, හැම මිනිහෙකුටම නීතියෙන් එකවගේ සලකන,තමන්ගේ අයියලා මල්ලිලා වගේ රටේ අනිත් අයිඅය්ලා මල්ලිලා ගැන හිතන, තමන්ගේ පුතා
වගේ අනිත් පුතාල ගැනත් හිතන නායකයෙක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු!





Sunday, December 26, 2010

කාබයිට් ගැසීමේ කතාන්දරය

අපි වෙලඳපලට ගිහින් ඉදුනු පලතුරු ටිකක් මිලදී ගැනීමේදී ඇතිවෙන ප්‍රදාන ගැටලුවක් තමයි ඒවා ඉදවලා තියන්නෙ 'කාබයිට්' ගහලද භාවිතා කරලද කියන එක.මොකක්ද මේ කාබයිට් ගහනවා කියන්නෙ? ඒවා පවිච්චියට සුදුසුද නැද්ද? පොඩ්ඩක් බලමු.

ඇත්තටම කාබයිට් භාවිතා කරන්නෙ 'එතිලීන්' කියන, පලතුරු ඉදීම උත්තේජනය කරන්න හොමෝනය නිපදවීමටයි.කැල්සියම කාබයිට් වලට ජලය එකතු කලාම එතිලීන් වායුව නිපදවෙනවා. එතිලීන් වායුව හරියට පාවිච්චි කරනවා නම් අපිට ඔය කියන තරම් බය වෙන්න දෙයක් ඇත්තෙ නෑ.ඒත් තියන ප්‍රශ්නය තමයි අපේ ගොඩක් වෙලෙන්දො නොදැනුවත් කම නිසා ජලය යොදලා වායුව නිපදවීම වෙනුවට ජල බඳුනකට කැල්සියම් කාබයිට් දියකරලා ඒකට පලතුරු ගිල්වලා ගැනීම.

මේ නිසා අපට අතිවන ප්‍රධාන රොගාබාධ තමයි හිසරදය, සහ ආසනික් කියන බැර ලෝහයත් පොස්පරස් කියන මූලද්‍රව්‍යයත් නිසා ඇතිවන ස්නායු දුබලතාවය.කාබයිට් යෙදූ පලතුරක් අඳුනා ගන්නට ඔබටත් පුලුවනි. මෙන්න මේ කාරනා තියනවානම් ඒක බොහෝ විට කාබයිට් භාවිත කරල ඉදවපු පලතුරක්.

පලතුර වටේ ඉදිලා වගේ පෙනිලා ඇතුලත බොහොම තදයි නම් - මොකද කෘතිමව ඉදවනකොට පලතුරු ඉදෙන්නෙ පිටත ඉඳලා ඇතුලතට.
අසාමන්‍ය දීප්තිමත් කහ පැහැයක් ගන්නව නම්
පලතුරේ නටුව තදින් නරක් වෙලා තියනවා නම්
පලතුරු සුවඳ බලනවිට පුරුදු සුවඳ වෙනුවට සැර ආග්‍රාණයක් එනවානම්
පලතුරේ සමහර තැන් තද කොළ පාටට තියෙද්දි අනෙක් තැන් තද කහ පැහැයට තියෙනවානම
කෙසෙල් වගේ දෙයක් නම් මුලු කැනම එකම විදියට කහපාට වෙලානම් - ඒත් සැක කරන්න පුලුවන්.

ඉතින් මේ උත්සව කාලේ පොඩ්ඩ්ක් බලලා ස්වභාවිකවම ඉදුනු පලතුරු ටිකක් ගන්න පොඩ්ඩ්ක් විමසිලිමත් වෙමු.

Thursday, September 30, 2010

කටවුට්

මේක ලියන්න හිතාන හිටියෙ මීට සති තුනකට විතර කලින්. නොයෙක් වැඩ නිසා පකක්කු උනත්, දැන් හරි ලියන එක වටිනවා කියල හිතුන නිසයි ලීවේ.
මම බදුල්ලෙ ආවෙ පසුගිය 5වෙනිදා, කැම්පස් එකේ නිවාඩුව ඉවරව වෙලා. ඒ එනකොට දකින්න තිබුනෙ කලින් දැක්කට වඩා වෙනස් නගරයක්.
මා ඒමට දින කීපයකට කලින් ජනාධිපති තුමා බදුල්ල නගරයේ සංචාරය කරලා තිබුණා.ඉතින්, රෝහල අසල ඉතාවිශාල තොරණක් නිර්මාණය කරලා තිබුණා, ජනාධිපති තුමාව පිලිගන්න.ඒ විතරක් නෙවෙයි, බස් නැවතුම්පල, පළාත්සභාව, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසල ආදී වශයෙන් නොයෙක් තැන්වල මහා විශාල තොරණ නිර්මාණය කරල තිබුණා. ඒ විතරක් නම් මදැයි, හොඳම දේ තමයි නගරය් වැහෙන තරම් ගහපු කටවුට්.
මේ හැම එකකින්ම කියලා තිබුණෙ 'ජනාධිපතිතුමාව සාදරයෙන් පිලිගනිමු' කියලා. එහෙම නැති නම් අපි මේ දේවල් කලා කියලා එක එක්කෙනා ගහපු පංපෝරිය.
පිලිගන්න්වා ලියලා ඔච්චර කටවුට් ගහන්න ඕනෙද? එක්කෙනෙක් මදිවට එක එක දේශපාලඥයා වෙන වෙනම පිලිගන්නවා. තමන්ට ලකුණු දාගන්න වෙන්න ඇති. කරපුවා පෙන්නන්න ඔච්චරම ඕනෙනම් ප්‍රගති සමාල්ලොචනය දවසෙදි ඒක හොඳටම පෙන්වන්න තිබුණා.
ඒත් මේකෙ අනිත් පැත්ත ගැන කල්පනා කලොත්, තොරණ ගහන්න වගේම කටවුට් ගහන්නත් මා දන්නා තරමින් ලක්ෂ 10 කට වැඩි මුදලක් වැය කරලා තිබුණා. තවත් දෙයක්, ජනාධිපති තුමා සංචාරය කරන වීදි වල දෙපස විදුලි හා දුරකථන කණු වල දේශපාලඥයන්ගේ රුව සහිත විශාල පුවරුත් එල්ල තිබුණා.
මට පුංචි දෙයක් අහන්න හිතුණා. මේකට කරපු මහා වියදමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේම තියෙන පාරක් හදලා දෙන්න මේ දේශ පාලුවන්ට බැරිද? වතුර නැති තැනකට වාරි ජල යෝජනා ක්‍රමයක් පටන්ගන්න ආධාර දෙන්න බැරිද?
අපි හොඳින්ම දන්නා හම්බන්තොට වරයේ කරදියවර මංගල්‍යයය වෙනුවෙනුත් රජය රුපියල් කෝටි ගණනක් වියදම් කරලා තිබුණා. හැම තැනම තියන්නෙ මේ විදියෙ ආටෝප වැඩම තමයි. හරයක් නැති උනත් බොරු මවාපෑම් නම් හැමතැනම තියනවා.
කවුරු කොහොම කිව්වත් මම නම් කියන්නෙ අද ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සු මෝඩයි කියලා. නත්නම් මේ දේවල් කරලත්, අසරණ මිනිස්සුන්ට තියන දේ හූරගෙන කාලා නැවතත මනාපෙ ඉල්ලගෙන ඇවිත් බොරුවක් කීවාම ඔහෙ දීලා දායිද?. රට ගැන, අනාගතය ගැන, සොබාදහම ගැන හැඟීමක් බහුතරයකට නෑ කියල කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒක හැම තැනම පේන්න තියන සත්‍යයක්.

ප.ලි.
දැනගන්නට ලැබෙන විදියට අපේ රාජ්‍ය නායකයින්ගේ ඇමරිකා හා යුරොපා සංචාර වලටත් බර වියදම්ලු.
කමක් නෑ. අපි බදු ගෙවලා උඹලට හම්බ කරලා දෙන්නම්. උඹලා රටින් රටට ගිහින් හොඳම හෝටල් වලින් කාලා, 'බීලා', නටලා ආතල් ගනිල්ලා.
අපිට බුදු සරණයි!